November 9, 2023

ඉන්දියාව දැන් සිය මිලියන සංඛ්‍යාත සිය ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් සිටින බවත්, මෙය ගෝලීය ආර්ථික අසමානතාවය අඩුකිරීමට උපකාරී වනු ඇති බවත් මිචිගන් විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්ය ජස්ටින් වුල්ෆර්ස් පෙන්වාදෙයි.

ප්‍රමුඛ ජනමාධ්‍යවේදියකු වන ‘ශ්‍රිජන මිත්‍ර දාස්’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, තමන් මෑතකදී සිදුකළ අධ්‍යයනයක් පිළිබඳව අදහස් පළකරන ජස්ටින් වුල්ෆර්ස් සඳහන් කරන්නේ, ඉන්දියාවේ නැගී එන ආර්ථිකය සිය දරිද්‍රතාවයට එරෙහි වැඩසටහන හරහා මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදාගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

“ලෝකයේ බොහෝ දුප්පතුන් සිටියේ චීනයේ. එහි වර්ධනය විසින් මිලියන සියගණනක් යහපත් ජීවන තත්වයන්ට ඔසවා තබනු ලැබුවා. අපි දැන් දකින්නේ ඉන්දියාවෙත් ඒ දේම වෙනවා. විශාල අඩු ආදායම්ලාභී ජනතාවක් මධ්‍යම ආදායම්ලාභීන් බවට පත්වීමට සමීප වෙමින් සිටිනවා. එය පැහැදිලිවම ගෝලීය ආදායම් අසමානතාවය අඩු කිරීමට උපකාරී වෙනවා.”

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජස්ටින් වුල්ෆර්ස් පෙන්වාදෙන්නේ, එක්සත් ජනපදයේ පවා ආදායම් අසමානතාවය දශක හතරක් තිස්සේ වර්ධනය වෙමින් පවතින බවයි.

වඩා හොඳ සෞඛ්‍ය සේවා පද්ධති, වැඩි අධ්‍යාපන අවස්ථා, නීතියේ ආධිපත්‍යය, කුසගින්න නොමැතිකම, සමාජ සුබසාධන ජාලයක් ආදිය ලබාදෙන බැවින් වැඩි ආර්ථික සංවර්ධනයක් ඇති ජාතීන් වැඩි සතුටක් සිය ජනයාට ලබාදෙන බවද ජස්ටින් වුල්ෆර්ස් සඳහන් කරයි.

“අපගේ පර්යේෂණයන් සොයාගෙන ඇත්තේ ජාතීන් වඩාත් දියුණු වන විට ඔවුන්ගේ සතුට මට්ටම ඉහළ යන බවයි.” යනුවෙන් ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කරයි.