November 9, 2023

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය විහාරස්ථානය ඇතුළත ඉදිකෙරෙමින් පවතින චෛත්‍ය ආසන්නයේ වළක් හාරා සඟවා තිබූ නීති විරෝධි මත්පැන් බෝතල් 45ක් සමග නීති විරෝධි මත්පැන් ජාවාරමේ නිරත කාන්තාවක් පසුගියදා අඟුරුවාතොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනිවැල්පිටිය විහාරස්ථානය අසල නිවසක පදිංචි 65 හැවිරිදි කාන්තාවකි.

කලක පටන් ප්‍රදේශයට හිරිහැරයක් වන පරිදි මත්පැන් ජාවාරමේ නිරත වන මෙම කාන්තාව කිහිපවිටක්ම පොලිස් වැටළීම් සිදුකර අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාරිය ජාවාරම් කටයුතු නොයෙක් ක්‍රමෝපායන් අනුගමනය කරමින් නැවත නැවතත් සිදුකරගෙන ගොස් ඇති අතර, මෙවර පොලිසිය සිදුකළ වැටළීමේදී වෙනිවැල්පිටිය විහාරස්ථානයේ ඉදිකරමින් පවතින චෛත්‍යට මීටර් විස්සක් පමණ සමීපයේ වළක් හාරා ඒ තුළ මත්පැන් සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

සැකකාරිය මෙම වළ තුළ ඉතා සූක්ෂමව කලක් තිස්සේ කසිප්පු සඟවා පැකට් කර සිල්ලරට විකුණා ඇති බව පොලිසිය පවසයි.

සැකකාරිය මත්පැන් පානය සඳහා ඇබ්බැහිවී නිරන්තරයෙන් පරුෂ වචන භාවිත කරමින් රණ්ඩු සරුවල් කරන ප්‍රදේශයට හිරිහැරයක්ව පවතින කාන්තාවක් බවට අනාවරණය වී ඇත.

ඇයගේ දරුවන් පවා රට රැකියාවල නිරත වන අතර, ඔවුන් මුදල් හදල් පවා ලබාදී මෙම ජාවාරමේ නිරත නොවන ලෙස මවට කොතෙක් දැනුම් දුන්නද එය කනකට නොගන්නා මෙම කාන්තාව නිරන්තරයෙන් දිගින් දිගටම ජාවාරමේ නිරත වී ඇති බවට ද අනාවරණය වී තිබේ.(දිවයින)

42.31%
17.27%
32.76%