November 8, 2023

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහාය දූත මණ්ඩලය සමඟ කටයුතු කරන, ඇෆ්ගනිස්ථානය සඳහා වූ නව නියෝජ්‍ය විශේෂ නියෝජිත සහ ඇෆ්ගනිස්ථානයේ නේවාසික සම්බන්ධීකාරක ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රික රත්වත්තේ පත්කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයකට අනුව ඉන්ද්‍රික රත්වත්තේ මානුෂීය සම්බන්ධීකාරක ලෙසද කටයුතු කරනු ඇත.

ඉන්ද්‍රික රත්වත්තේ 1992 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ, පෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ සරණාගත කටයුතු පිළිබඳ නිලධාරිවරයා ලෙසය.

ඔහු 1993 දී හිටපු යුගෝස්ලාවියාවේ යුද්ධය අතරතුර බොස්නියාවේ සහ හර්සගොවිනාවේ සහ පසුව ක්‍රොඒෂියාවේ සේවයේ යෙදී සිටියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය(UNHCR) වෙත සම්බන්ධ වී ඇත.

UNHCR සමඟ ඔහු හොංකොං, තායිලන්තය, පකිස්ථානය, බටහිර ටිමෝරය, මැසිඩෝනියාව, ටැන්සානියාව සහ ජිනීවාහි UNHCR මූලස්ථානවල සේවය කර තිබේ.

පකිස්ථානයේ UNHCR හි සහකාර නියෝජිතයා ලෙස ඔහුගේ සේවා කාලය තුළ, ඔහු විසින් ඇෆ්ගන් සරණාගතයන්ගේ පළමු ජෛවමිතික ලියාපදිංචිය අධීක්ෂණය කර ඇත.

ඔහු ජිනීවා හි ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත්, පකිස්ථානයේ UNHCR හි නියෝජිතයා ලෙසත්, 2017 වසරේ සිට UNHCR හි ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කර තිබේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සහ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ද, නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇති අතර, නීතිවේදී නීතිඥවරයකු ලෙස සුදුසුකම් ලබා ඇත.

42.31%
17.27%
32.76%