November 6, 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනුවෙන් යමක් මේ වන විට නොමැති බවත්, ‘හැටනම ලක්ෂය’ යනු එක්තරා පුද්ගලයකුගේ හෝ පවුලක අයිතිවාසිකමක් නොවන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවැසීය.

තමන් පාසල් අවධියේදී ජනතා විමුක්ති පෙරමුණේ ‘පන්ති පහට’ සහභාගී වූ බවද මෙහිදී අනාවරණය කළ දිලිත් ජයවීර, ජවිපෙ අද වන විට පැරණි ප්‍රතිපත්තිවල සිට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

හෙතෙම මෙම අදහස් පළකළේ, සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් ‘අලුතින් හිතමු’ යන තේමාව යටතේ මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

සමුළුව ඊයේ ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි.

මව්බිම ජනතා පක්ෂයේ නායකයා එහිදී මෙසේද පැවැසීය.

“අපගේ මේ වැඩපිළිවෙළ පුද්ගල කේන්ද්‍රීය, පවුල් කේන්ද්‍රීය වැඩපිළිවෙලක් නොවන බව පැහැදිලිවම කිව යුතුයි. විශේෂයෙන්ම මේක මුක්කු ගහන වැඩපිළිවෙළක් නෙමෙයි. මුක්කු ගහන්න හදපු පක්ෂෙකුත් නෙමෙයි. අපි පොහොට්ටුවට කියන්න ඕන අද මේ මංගල රැස්වීමට ඇවිත් ඉන්න ජනතාව හැට නව ලක්ෂයේ කොටස්කරුවන් බව. අපි විශේෂයෙන්ම පොහොට්ටුවට කියන්න ඕන පොහොට්ටුව කියලා එකක් නැති බව. මොකද පොහොට්ටුව කියන්නේ අපිට. හැටනම ලක්ෂය කියන්නේ අපිට. ඒක එක්තරා පුද්ගලයෙක්ගේ හෝ පවුලක අයිතිවාසිකමක් නෙමෙයි. ඔවුන් හිතනවා නම් මේ හැටනම ලක්ෂය ලාබෙට අලෙවි කරන්න පුළුවන් කියලා, එක විහිළුවක්. අපේ මුළු ආඛ්‍යානයම තියෙන්නේ මේ කදවුර තුළයි. ඒ කියන්නේ හැටනම ලක්ෂය ප්ලස් කදවුරක් දැන් මේක. මොකද හැට නව ලක්ෂේට ඡන්දේ නොදුන්න බොහෝ පිරිස් අද අපි එක්ක එකතු වෙනවා. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයා යුද්ධය අවසන් කරලා ඉටුකළ මෙහෙය අපි අමතක කරන්නේ නැහැ. නමුත් ඒ ගෞරවය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අවභාවිත කරන්නට ඉඩ දෙන්න බැහැ. මේය වරදවා වටහා නොගතයුතු කාරණයක්. කෙළෙහිගුණ දන්නා ජාතියක් ලෙස අපි ඒ මත්තේ සිට උඩ බලාගෙන කෙළගසා නොගතයුතු බව සිහිතබා ගත යුතුයි.

වර්තමාන ජනාධිපතිතුමන් දේශපාලන වැඩපිළිවෙළක සිටින බව පේනවා. නමුත් ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ අසාර්ථකයි. ඔහු සිතනවා නම් ජනතාව ඔහු වටා සිටිනවා කියලා එය වැරදි නිගමනයක් බව කිව යුතුයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පදනමකින් සමාජවාදී ගමනක් ගිය පක්ෂයක්. පාසල් අවධියේ කොලුගැටයෙක් ලෙස ඔවුන්ගේ පන්ති පහට සහභාගී වුණු කෙනෙක් මම. නමුත් ඔවුන් අද එතන නැහැ. ඔවුන්ගේ සමහර නායකයින් කොහෙත්ම ඒ ප්‍රතිපත්තීන් වල නැහැ. මේ අහිංසක මිනිස්සු හිතනවා නම් ඔවුන් තමයි විකල්පය කියලා. මං හිතන්නේ එය තමයි ප්‍රථමයෙන්ම බැහැර කළ යුතු කරුණ. මං මෙය කියන්නේ ඔවුන් විටින් විට එල්ල කරන චෝදනා තුනක් නිසා. නයා, පැණිය සහ ඇන්ටිජන් ගැන ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල විටින් විට චෝදනා එල්ල තියනවා කර තිබෙනවා. ඒ නිසා ඒ පක්ෂේ නායකතුමාට මේ ප්‍රශ්නය විවෘත සංවාදයකදී විසදගන්න කියලා ආරාධනා කරලා තියනවා.”

42.31%
17.27%
32.76%