November 6, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් ලබාදෙන පොළී අනුපාතය පසුගිය වසර 10 තුළ සියයට 12 ඉක්මවා නොතිබුණු නමුත් 2022 වර්ෂයේදී එය සියයට 29.27ක් වැනි ඉහළ අගයකින් වැඩි කර ඇති බව අනාවරණය වේ.

මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් 2013 වර්ෂයේදී සියයට 10.65ක්ද, 2014 වර්ෂයේදී සියයට 6.73ක්ද, 2015 වර්ෂයේදී සියයට 7.11ක්ද, 2016 වර්ෂයේදී සියයට 10.20ක්ද, 2017 වර්ෂයේදී සියයට 10.07ක්ද, 2018 වර්ෂයේදී සියයට 11.20ක්ද, 2019 වර්ෂයේදී සියයට 9.40ක්ද, 2020 වර්ෂයේදී සියයට 6.37ක් හා 2021 වර්ෂයේදී සියයට 8.24ක පොළී අනුපාතයක් ගෙවා තිබේ.

එසේම මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යනු ලබන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් පසුගිය 16 වසරටම වැඩිම පොළී අනුපාතයක් ගෙවා ඇත්තේ 2022 වර්ෂයේදී බව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු අනුව හෙළිවී ඇත.

තොරතුරු සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ගිණුම් ශේෂය වෙනුවෙන් 2022 වර්ෂයේදී සිය සාමාජිකයන්ගේ ගිණුම් ශේෂ මත සියයට 09ක ප්‍රතිලාභ පොළී අනුපාතයක් ගෙවා තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජික ශේෂ මත ප්‍රතිලාභ අනුපාතික 2013 වර්ෂයේදී සියයට 11ක්ද, 2014 වර්ෂයේදී සියයට 10.50ක්ද, 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළදී සියයට 10.50ක්ද, 2018 වර්ෂයේදී සියයට 9.50ක්ද, 2019 වර්ෂයේදී සියයට 09.25ක්ද, 2020 හා 2021 වර්ෂයේදී සියයට 09ක ප්‍රතිලාභ අනුපාතිකයක්ද ගෙවා ඇත.

ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ(EPF) ගිණුම් ශේෂය වෙනුවෙන් සිය සාමාජිකයන්ගේ ගිණුම් ශේෂ මත ලබාදෙනු ලබන ප්‍රතිලාභ අනුපාතිකය පසුගිය වසර තුන තුළ කිසිදු වෙනසක් නොවී සියයට 09ක ප්‍රතිශතයකින් යුක්ත බවද අනාවරණය වී තිබේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) ගිණුම් ශේෂය සදහා 2022 වර්ෂයේදී ලබාදී සියයට 8.75ක පොලී අනුපාතයක් ගෙවා ඇත.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් 2013 – 2014 වර්ෂවලදී සියයට 10ක්ද, 2015 – 2018 වර්ෂ වලදී සියයට 9ක්ද, 2019 – 2020 වර්ෂවලදී සියයට 8ක් හා 2021 වර්ෂයේදී සියයට 7.25ක වාර්ෂික පොලී අනුපාතිකයක් ගෙවා තිබේ.

ඒ අනුව 2022 වර්ෂයේදී මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් සියයට 29.27ක පොලී අනුපාතිකයක්ද, සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ගිණුම් ශේෂය වෙනුවෙන් සියයට 09ක ප්‍රතිලාභ පොලී අනුපාතයක් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) ගිණුම් ශේෂය සදහා සියයට 8.75ක පොලී අනුපාතයක්ද ගෙවා ඇත.

පසුගිය වසරවලට සපේක්ෂව සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සතු ගිණුම් ශේෂය සඳහා ගෙවනු ලබන පොළී අනුපාතය ක්‍රමයෙන් අඩුවීමක් දකින්නට හැකි වුවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යනු ලබන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් ලබා දෙන පොළී අනුපාතයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවී තිබේ.(මව්බිම)