November 5, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ මෑත කාලීන ආන්දෝලනයන් පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලුම පූර්ණ සාමාජික රටවලට වෙන් වෙන්ව ලිඛිතව දැන්වීමට පියවරගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා ඇතිවිය හැකි අතුරු වැඩපිළිවෙළක් පිළිබඳවද ඇමැතිවරයා එමගින් ඉඟිකර ඇත.

පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්, අන්තර්කාලීන පියවර ගනු ලබන්නේ යහපාලන මූලධර්ම ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ සැවොම ආදරය කරන ක්‍රීඩාවේ ආචාරධර්ම සහ ජීවගුණය ප්‍රවර්ධනය කරන පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා පමණක් යැයිද ඇමැතිවරයා එමගින් අවධාරණය කර ඇත.

එම ලිපියේ අඩංගු කරුණු මෙසේයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ මෑත කාලීන මතභේදයන් පිළිබඳ ඔබ දැනුවත් කිරීමට මම ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රාජ්‍යයක් ලෙස ඔබේ ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් යොමුකරමි.

ශ්‍රී ලංකාව 1981දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයකු බවට පත් වූයේ 1975දී එය පිහිටුවා වසර හයකට පසුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ක්‍රීඩා අමාත්‍යංශය යටතේ දේශීය ක්‍රිකට් සිතියමේ අධිකාරී මුද්‍රාව වී ඇති අතර එය රටේ ක්‍රිකට් උරුමය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමුකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන් වතාවක් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිස ඇත.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් 1996 දී ජයග්‍රහණය කර 2007 සහ 2011 ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරයන් බවට පත් විය.

ශ්‍රී ලංකාව 2003 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සහ 2015 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයටද පැමිණ ඇත.

අන්තර්ජාතිකව සහ දේශීය වශයෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය අතින් 2015 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රමයෙන් පිරිහීමට ලක්ව ඇත.

ක්‍රීඩකයන්ගේ විනය ගැටලු, කළමනාකරණ දූෂණ, මූල්‍ය විෂමාචාර සහ තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා රැසක් එල්ලවී තිබේ.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන විෂමාචාරය සම්බන්ධයෙන් මට පෙර සිටි ඇමැතිවරුන් කිහිපදෙනකුම පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව එල්ලවන චෝදනා සනාථ කරන වාර්තා කිහිපයක්ම ලැබී තිබේ.

දේශපාලන අර්බුද හා ව්‍යසන නිසා එම වාර්තා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

කෙසේවෙතත්, රටේ ස්වාධීන විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද මෑත කාලීන විගණන වාර්තා සහ හෙළිදරව් කිරීම් මගින් මූල්‍ය අපරාධවල යෙදෙන්නන් නීති පද්ධතිය හමුවට ගෙනඒමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ යහපාලනය සහ විනිවිදභාවය ඇති කිරීමට විෂයභාර ඇමැතිවරයා ලෙස මා හට ලෙස කඩිනම් මැදිහත්වීමක් සිදුකිරීමට සිදුව තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නවතම විගණන වාර්තාවේ පිටපතක් මේ සමග අමුණා ඇත. කරුණාකර (යොමු 12.13) වෙතයොමු වන්න.

රටේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මගේ ඒකායන රාජකාරිය දූෂණයට එරෙහිව සටන්කර සියලු ක්‍රීඩා ආයතනවල යහපාලනය හා විනය ඇති කිරීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරිත්වයේ ක්‍රියාකාරකම් ක්‍රීඩකයන්ගේ හැසිරීම සහ විනය පිරිහීම දක්වා ගමන්කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ රැසක් සිදුවී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

බොහෝ ක්‍රීඩාලෝලීහු ඔට්ටු ඇල්ලීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විවේචනය කරති.

එය ක්‍රීඩාවේ ආචාරධර්ම සහ ජීවගුණය අවප්‍රමාණය කරන බව ඔවුගේ විශ්වාසය වී ඇත.

දේශීය ක්‍රිකට් තරඟාවලි සඳහා දැන් අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර, අසාදු ලේඛනගත කර ඇති ඔට්ටු ඇල්ලීමේ සමාගම් සහ නීති විරෝධී ක්‍රිප්ටෝ මුදල් වංචාකරුවන් විසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැරදි කළමනාකරණය නිසා රටට විශාල පාඩුවක් සිදුවී ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාසයකට පමණ පෙර පැවැති ක්‍රිකට් ලීග් තරගාවලියකදී ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් කණ්ඩායම සියලු අංශවලින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ විශාල පසුබෑමකට ලක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමසා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් පළකළ දා සිට මගෙන් සහ ක්‍රීඩා අමාත්‍යංශයෙන් “දේශපාලන මැදිහත්වීම්” ඇති බවට ලිහිල් ලෙස තර්කකරමින් චෝදනා කරමින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වයට මා හෝ කිසිදු රාජ්‍ය බලධාරියකු කිසිදු අංශයකින් බාධාකර නොමැති බව අවධාරණය කිරීමට මට අවශ්‍ය වේ.

තවද, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ තර්ජනය තම මූල්‍ය අපචාරවලට එරෙහිව ක්‍රියා නොකිරීමට, “බ්ලැක්මේල්” සංකේතයක් ලෙස තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශ්වය පුරුද්දක් කරගෙන සිටියි.

ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා සමඟ සන්නිවේදනය කිරීමට ආචාරශීලී උත්සාහයක් දරා තිබේ.

මගේ ඉලක්කය වූයේ මෑත කාලීන හෙළිදරව් කිරීම් පිළිබඳව දැනුවත් කිරීම සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි.

මට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පාලක මණ්ඩලයේ සුමට සංක්‍රාන්තියක් සහතික කිරීමට සහ යහපාලනය සහ විනිවිදභාවය ඇති යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බවට සහතික වීමටය.

අවාසනාවකට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ විෂමාචාරය සන්නිවේදනය කිරීමට මා පත් කළ සාමාජිකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය අවශ්‍ය කෙරෙන ප්‍රායෝගික නොවන ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් සාමාජික රාජ්‍යයන් අතීතයේ පාලනය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවලට මුහුණ දීම සඳහා අතුරු විධිවිධාන සහිතව එවැනි කාල පරිච්ඡේදවලට මුහුණ දී ඇත.

එම කාල වකවානු තුළ පවා එම පත්කළ සාමාජිකයන්ගේ ක්‍රියාන්විතයට දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ එකදු චෝදනාවක් හෝ එල්ල වී නොමැති බව පෙන්වා දීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකා රජය වශයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායමෙන් සියලුම බදු සම්පූර්ණයෙන් ඉවත් කර ඇති අතර රජයේ දායකත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහ සමෘද්ධිමත් කිරීමට සැළකිව යුතු ලෙස මුදල් වෙන්කරමින් අප දිරිමත්කිරීම් සිදුකර ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේමුලාරම්භය වන පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යංශය සැළකිව යුතු ලෙස මුදලක් වැය කරයි.

එපමණක් නොව, රටේ ප්‍රධාන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බැවින් දිවයිනේ සියලුම ක්‍රිකට් ක්‍රීඩාංගණ සඳහා විශේෂ ප්‍රදාන සහ පහසුකම් ලබා දී ඇත.

මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්, අන්තර්කාලීන පියවර ගනු ලබන්නේ යහපාලන මූලධර්ම ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ අප කවුරුත් ආදරය කරන ක්‍රීඩාවේ ආචාරධර්ම සහ ජීවගුණය ප්‍රවර්ධනය කරන පාලන ක්‍රමයක් ඇති කිරීමට පමණක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.

මෙම පියවරවල අරමුණ පැහැදිලි කිරීම සාධාරණත්වය සහ විනිවිදභාවය සඳහා අපගේ කැපවීම නැවත තහවුරු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”