November 4, 2023

ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී යෑමත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය දැඩි අවදානම් මට්ටමට ඊයේ ළඟා වී තිබිණි.

ඒ, අගනුවරට වාර්ෂික ව්‍යසනයක් බවට පත්ව ඇති වායු දූෂණ සමයක ආරම්භය සනිටුහන් කරමිනි.

නගරයේ වායු තත්ත්ව දර්ශකය ආසන්න වශයෙන් ඒකක 500ට ළඟා වූ බැවින් දිල්ලිය අවට පාසල් වසාදමා අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් නැවත්වීමට පියවර ගෙන තිබේ.

අදාළ මිනුම සැළකෙන්නේ වායු තත්ත්ව දර්ශකයේ ඉහළම මිනුම ලෙස වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය සම්පන්න යැයි සළකනු ලබන සීමාව මෙන් 100 ගුණයක් බවට පත්ව ඇත.

මෙසේ තිබියදී එළඹෙන නොවැම්බර් 06 වැනිදා දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ලෝක කුසලානය සඳහා වන තරගයක් ආසියානු සගයන් වන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමටද නියමිතය.

පවතින වාතාවරණය තුළ ලෝක කුසලාන තරගාවලියක 2017 දෙසැම්බරයේ පැවැති තරගයක අනවශ්‍ය මතකයන්ද සිහියට නැගෙමින් තිබේ.

ඒ, ඉන්දු – ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක තේ විවේකයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11දෙනාගෙන් 09දෙනකු මුහුණු ආවරණය කර පිටතට පැමිණි අවස්ථාවයි.

ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිද තණතීරුවේදී වමනය කළේය.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ලෝක කුසලාන තරගයට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සිය පුහුණු සැසිය අවලංගු කිරීමට සිදුවූයේ ජාතික අගනුවර වායු දූෂණය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙනි.

ඔවුන්ගේ පළමු පුහුණු සැසිය සිකුරාදා සවස පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉහළ පරිසර දූෂණය සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් කළමනාකාරීත්වය එය නොපැවැත්වීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිල්ලි නුවරට පැමිණි අතර අද සවස පුහුණුවීම් කිරීමට නියමිතය.