November 4, 2023

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වුවද ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුවම සම්බන්ධ සියලුදෙනා ඉවත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

“පසුගිය දිනවල ශ්‍රී ලංකාව එක්දින අන්තර්ජාතික තරගවලදී දරුණුතම පරාජයන්ට මුහුණ දුන්නා.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරන සියලු දෙනාම ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඉවත්කළ යුතු කාලය ඇවිත් තියෙන්නේ. මම මීට පෙර කිහිපවතාවක්ම මෙම අදහස ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දැඩි තීරණ ගතහොත් ICCය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් දිගින් දිගටම නින්දිත පරාජයන් ලබනවාට වඩා ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් යන තත්ත්වය අහිමිකර ගැනීම හොඳයි” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ අපකීර්තිය අපි දැනටමත් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත්කර තියෙනවා. නමුත් අද වනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

විතානගේ මන්ත්‍රීවරයා දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කරුණු මතුකරමින් සිටින අතර ඔහුගේ මෙම නවතම ප්‍රකාශය පැමිණෙන්නේ බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ දරුණු පරාජයෙන් පසුවය.