November 3, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට්කණ්ඩායම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හොඳම මතකයන් ප්‍රේක්ෂකයන් වන අපට නැති තරම්ය.

මීට වසර 12කට පෙරත් මෙම ක්‍රීඩාංගණයෙදීම අපට අත්විඳින්නට වූයේ පරාජයේ අමිහිරි අත්දැකීමකි.

ශ්‍රී ලංකාවට තම දෙවැනි ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වූ ආකාරය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ සිත්තුළ සදාකාලිකවම හොල්මන් කරනු ඇත.

නුවන් කුලසේකරගේ පන්දුවකට මහේන්ද්‍ර සිං දෝණි එල්ලකළ හයේ පහරත්, යුවරාජ් සිං ප්‍රීතියෙන් කඳුළු සලමින් සිටින අයුරුත් අපගේ මතකයෙන් ගිලිහී නොයයි.

එතැන් සිට අද දක්වා එම දර්ශන පෙළ දහස් වාරයක් අප රූපවාහිනියේ නරඹන්නට ඇත.

එහෙත් එම අවසන් තරඟයේ කැපී පෙනෙන මතකයක් වූයේ එවක ශ්‍රී ලංකා නායකයා වූ කුමාර් සංගක්කාර සියලු ඉන්දීය සැමරුම් දෙස බලා සිටිමින් සිනහවක් පෑමට තරම් සමත් වූ ආකාරයයි.

2011 දී ශ්‍රී ලංකාව සුප්‍රසිද්ධ ලෝක කුසලාන අවසන් මහා තරගයයේදී සුපිරි ජයග්‍රාහකයෙකු හමුවේ පරාජය වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ලැජ්ජාවක් නොමැතිව හිස කෙලින් තබාගෙන ක්‍රීඩාංගණයෙන් පිටව යෑමට හැකියාවක් තිබිණි.

එහෙත් ඉන් වසර 12ක් ගෙවුණු තැන හමුවූ මෙම ක්‍රිකට් එදිරිවාදීයා සමග පැවැති තරගය අපට සිහි ගන්වන්නේ මහා යෝධයකු පැරදවූ අහිංසක කොලුගැටයකු පිළිබඳ අතීත කතා පුවතයි.

ඉන්දියාව සමග ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 358ක ඉලක්කය හඹා යෑමේදී සියල්ලන් දැවී ගියේ ලකුණු 55කටයි.

බොහෝදුරට තම අවසන් ලෝක කුසලානය ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එම අවස්ථාවේ සිටියේ කඳුළු සලමිනි.

එම නින්දිත පරාජයත් සමග අභීත ක්‍රිකට් රාජ්‍යයක් ලෝකය ඉදිරියේ විහිළුවක් බවට පත්විය.

එසේනම් මෙම දැවැන්ත අසාර්ථකත්වයේ වගකීම භාරගත යුත්තේ කවුද?

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පසුගිය සතියේ පුහුණුකරුවන් සඳහා ගෙවන වැටුප් පිළිබඳව හෙළිදරව්වක් කළේය.

ඔහුට අනුව, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ මාසික වැටුප ඩොලර් 30000කි.

උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධනගේ මාසික වැටුප ඩොලර් 20,000කි.

ලැජ්ජා සහගත පිතිකරණයක නිරතවූ මෙම කණ්ඩායමේ සහකාර පුහුණුකරු වන නවීඩ් නවාස් මාසිකව ඩොලර් 14,000ක් උපයයි.

ඇමැතිවරයා විසින් සපයන ලද විස්තර අනුව මුළු පුහුණු කාර්ය මණ්ඩලයටම මාසිකව ඩොලර් 120,000කට ආසන්න මුදලක් ගෙවනු ලබන්නේ කුමක් සඳහාද යන්න අද පවතින බරපතළ ගැටලුවයි.

මහේල ජයවර්ධනගේ ආගමනයත් ඔහු දැන් කණ්ඩායම සමග සිටින බැවිනුත්, ප්‍රධාන පුහුණුකරු වන සිල්වර්වුඩ් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ආකාරය ගැන එතරම් ප්‍රකාශ නොකරන රූකඩයක් මෙන් පෙනේ.

කෙසේවෙතත්, එක්දින තරග 69කින් පසු එක්දින සාමාන්‍ය 22ක් ලෙස පවත්වා ගෙන යන පිතිකරුවකු වන දසුන් ශානක කෙරෙහි ඔහු තුළ ඇති අඛණ්ඩ අන්ධ විශ්වාසය ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුවක් බව පෙනේ.

තම පරම්පරාවේ සුපිරි තරු බවට පත්ව සිටි සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු මෑතකාලීන සම්මුඛ සාකච්ඡාවකදී, ඔවුන් වුවද කණ්ඩායමේ ස්ථානය රැකගැනීම ගැන බිය වූ ආකාරය ගැන හෙළිකර තිබිණි.

සිල්වර්වුඩ්ට ස්තූතිවන්ත වන්නට ක්‍රීඩකයින්ට දැන් අසාර්ථක වේයැයි බියක් නැති වී ඇත්තේ ඔවුන්ගේ අසාර්ථක වීම එතරම්ම සාමාන්‍යකරණය වී තිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට ලැබුණු හොඳම උපක්‍රමශීලී නායකයා මහේල ජයවර්ධන බවට තර්කයක් නැත.

එහෙත් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහි ඔවුන්ගේ පෙර තරගයේදී පිත්තෙන් හෝ පන්දුවෙන් කිසිදු උපක්‍රමයක් අනුගමනය කළ බවක් දක්නට ලැබුණේ නැත.

මහේල ඩොලර් 20,000ක වැටුපක් ලබා ගත්තද, සැමවිටම කණ්ඩායම සමඟ සිටීමට කැමති බවක් පෙනෙන්නට නැත්තේ ඔහුට ගෝලීය වශයෙන් ඇති අනෙකුත් පුහුණුකිරීමේ වගකීම් නිසා විය හැකිය.

ලෝක කුසලානය වැනි ඉහළ පෙළේ තරගාවලිවලදී පවා, ඔහු කිසිදු පැකිලීමකින් තොරව දින ගණන් නිවාඩු ලබාගෙන තිබිණි.

රට නියෝජනය කිරීමට ප්‍රමුඛත්වය දීම හේතුවෙන්ම තම දරුවන්ගේ උපත පවා මඟ හැරගත් ක්‍රීඩක පරම්පරාවක් සමඟ ක්‍රීඩා කළ මිනිසකු ලෙසින් ඔහුගෙන් අපට එවැන්නක් බලාපොරොත්තු විය හැකිද ?

සහය පුහුණුකරු වන නවීඩ් නවාස් කිසියම් හේතුවක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡා සියල්ලටම පාහේ පැමිණෙන අතර මාධ්‍ය හමුවේ තම ක්‍රීඩකයන් දැඩි ලෙස ආරක්ෂා කරන ආකාරයක්ද පෙනී යයි.

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 50කට සියලුදෙනා දැවීගිය ශ්‍රී ලංකා කණ්ඩායම, එතැන් සිට ලෝක කුසලාන ගැටුමේදී ලකුණු 55කට සියලුදෙනා දැවී යෑම දක්වා අත්කරගත් ප්‍රගතිය ඔහු පැහැදිලි කිරීමට යන්නේ කෙසේද යන්න සිත්ගන්නාසුළු වනු ඇත.

මසකට ඩොලර් 14,000ක් උපයන කෙනෙකුට එය එතරම් අපහසු නොවනු ඇත.

අනෙක් අතට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවද මෙම පරාජයේ වගකීම භාරගත යුතුය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අපට පෙනීයන්නේ ඇස් කණ්ණාඩි එකකට වඩා අවශ්‍ය මිනිසකු ලෙසය.

ටෙස්ට් ක්‍රිකට් අංශයේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන ධනංජය ද සිල්වා,ඉන්දියාවේ මෙම ඒකාකාරී තණතීරුවේ අංක 6 ස්ථානයේ පිතිකරණයේ යොදවන්නට ඉඩ දීම හොඳ අදහසක් ලෙස කිසියම් හේතුවක් නිසා මෙම තේරීම් කමිටුවට සිතී තිබිණි.

හර්දික් පාණ්ඩ්‍යා සහ සූර්‍ය කුමාර් යාදව් සිටින ඉන්දියාව, ඩේවිඩ් මිලර් සිටින දකුණු අප්‍රිකාව ,ග්ලෙන් මැක්ස්වෙල් සිටින ඔස්ට්‍රේලියාව, ග්ලෙන් ෆිලිප්ස් සිටින නවසීලන්තය වැනි රටවල් සිය කණ්ඩායම්වල මෙම දැවැන්ත පිතිකරුවන් ස්ථානගත කරන්නේ ප්‍රතිවාදීන් සුනුවිසුණු කිරීම සඳහා වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ස්ථානගත කළ ස්ථානය පිළිබඳ තීන්දුව අතිශයින්ම හාස්‍යජනක තීරණයක් බවට පත්වන්නේ එය ප්‍රතිවාදියා නොව කණ්ඩායම සුනුවිසුණු කරීමට හේතුවන තීරණයක් වූ බැවිනි.

මෙම කම්පන සහගත ලෝක කුසලාන පරාජයන්ට ප්‍රධාන හේතුවක් වන්නේ ජාතික තේරීම් කමිටුව විසින් සිදුකරනු ලැබූ සමාවක් දිය නොහැකි ආකාරයේ වැරදි මාලාවයි.

විශේෂයෙන්ම ක්‍රිකට් යනු ක්‍රීඩාවක් නොව ආගමක් ලෙස සළකන මට්ටමේ රටක, ක්‍රිකට් ක්‍රීඩාව මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට ඉඩ දෙන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු තවදුරටත් ක්‍රීඩා සංවිධානයක් නොවේ, එය දැන් ව්‍යාපාරයකි.

සභාපති ෂම්මි සිල්වාගෙන් යම් දෙයක් ප්‍රශ්නකළ විට ඔහුගේ ප්‍රතිචාරය වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍යමය ලාභ පිළිබඳවයි.

ශම්මිගේ ආගමනයට පෙර යුගය ජාතික ක්‍රීඩකයන්ට වැටුප් ගෙවීමට ක්‍රිකට් පාලක මණ්ඩලය අසමත් වූ යුගයක් වුවත් ඒ යුගයේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට ක්‍රීඩාකර එකක් ජයග්‍රහණය කළ යුගයක් විය.

මන්ද එහිදී ප්‍රධාන වී තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක බව මිස උපයන මුදල් ප්‍රමාණය නොවීමයි.