November 2, 2023

රජය විසින් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩිකිරීමට සූදානම් බවට දැනුවත් වීමෙන් අනතුරුව වෘත්තීය සමිති සහ අනෙකුත් දේශපාලන පක්ෂ සිය දේශපාලන වාසි තකා වැටුප් වැඩිකරන ලෙසට විරෝධතා කළ බවත්, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වන තීරණය රජය විසින් ගනු ලැබුවේ මාස කිහිපයකට පෙර බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මෙරට අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයන්ගේ ශ්‍රමයේ ආරක්ෂාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ “ගරු සරු” වැඩසටහන් ඊයේ ආරම්භ වූ අවස්ථාවේදීය.

මෙම ”ගරු සරු” වැඩසටහන මගින් පෞද්ගලික බස් රථ රියදුරු, බස්රථ සහායක, වෙනත් ප‍්‍රවාහන අංශ රියදුරු, ඉදිකිරීම් කාර්මික, ඉදිකිරීම් සහායක, ගෘහ සේවක, රූපලාවන්‍ය ශිල්පී, ස්වයං රැකියාවල නිරතවන්නන් ආදි සෑම රැකියාවකම ගෞරවය, ආරක්ෂාව හා පිළිගැනීම ගොඩනැගීම අපේක්ෂා කරනු ලබයි.

මේ සඳහා ආරම්භ කොට ඇති සාකච්ඡා මාලාව සඳහා පුරවැසි ප‍්‍රජාවගේ, අවිධිමත් හා විධිමත් අංශවල රැකියාවන්හි නියුතු වූවන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව, මෙම වැඩසහටනේ ආරම්භය සනිටුහන් කරමින් අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයන්ගේ මහජන අදහස් විමසීමේ සැසිවාරයක්ද ඇමැතිවරයාගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

“අපි අමාත්‍යංශයක් විදිහට මේ අවුරුදු එකහාමාරට වැඩ ගොඩක් කළා. අපිට ලබන අවුරද්දේ මුල් භාගය වෙනකොට නව කම්කරු පනත ගෙන එන්න පුළුවන් වෙයි.

මේ රටේ විදේශගත ශ්‍රමිකයන්ට රටට සල්ලි එවන්න එපා කියලා, රට සම්පූර්ණයෙන්ම වැටිලා තිබුණු අවස්ථාවක ඉදලා, රටට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික ගේන්න පුළුවන් තත්ත්වයකට රට ගෙන එන්න හැකියාව ලැබුණා. ඒකට අපිට විදේශගත ශ්‍රමිකයන් විශාල සහයක් ලබාදුන්නා. ඒ නිසාම ඔවුන්ව විශේෂයෙන්ම මතක් කළයුතුයි.

අපි මේ අමාත්‍යංශය භාරගත්ත දිනයේ සිට පසුගිය සැප්තැම්බර් මාසයේ 30වැනිදා දක්වා කාලය තුළදී විදේශ ගත ශ්‍රමිකයින් මේ රටට ඇමරිකානු ඩොලර් බිලියනට 7.1ක් එවලා තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි, අපේ රටේ සමස්ත ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 38යි. ඒ කියන්නේ අපිට මේ කාලය තුළදී සැළකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.

මේ මුදල එවලා තියෙන්නේ බිංදුවටමට වැටිලා තිබ්බ රටකටයි. ඒක ඉතාම දැවැන්ත ප්‍රගතියක්. ඒ අයට ගරු කිරීමට අපි පියවර ගත්තා. ඒ ඔස්සේ තමයි අපිට මේ තත්ත්වයට එන්න හැකියාව ලැබුණේ. ඒ වගේම අපේ රටේ ශ්‍රමිකයන්ගේ ගැටලු රාශියක් අවසන් කරගනිමින් දවසින් දවස අපිට ඉදිරියට එන්න හැකියාව ලැබුණා.

අපි දැක්කා පහුගිය දවස් වල පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. ඒත් ඒ අය උද්ඝෝෂණය කළේ අපි මාස තුනකට විතර කළින් රාජ්‍ය, පුද්ගලික සහ වතු ක්ෂේත්‍රයේ සියලුමදෙනාගේ පඩි වැඩිකරන්න තීන්දුවක් ගත්තට පස්සෙයි.

ඒ තීන්දුවේ අපේ කොටස විදිහට පුද්ගලික අංශයේ අවම මූලික වැටුප වැඩිකරන්න මූලික සාකච්ඡා පවත්වලා, කම්කරු උපදේශන සභාවේ එකඟතාවය අරගෙන, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලයි තිබුණේ. අපි මූලික වැටුප වැඩිකරන්න අවශ්‍ය පදනම දැමීම අවසන් කරලයි තිබුණේ. මේ වෙලාවේ ජනාධිපතිතුමා අපිට කිව්වා අයවැයෙන් මේ වැටුප් වැඩි කිරීම කරමු කියලා.

මේ අතරතුරේදී වතු ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලුවාම ඒ ගැන අපි සාකච්ඡා කළා. ඒ අවස්තාවේදී ජනාධිපතිතුමා කිව්වා එතුමා වතු සමාගම් එක්ක කතා කරලා ඒකට අවශ්‍ය දේවල් කරන්නම් කියලා.

සමහර අයගේ නොදන්නාකමත්, අත්දැකීම් නොමැතිකමත්, ඒ වගේම ඡන්දය දිනන්න තිබුණ අවශ්‍යතාවය නිසාත්, රටේ රාජ්‍ය ආදායමත් නැතිකරලා දැම්මා. ඒත් වර්තමාන ජනාධිපතිතුමා යළිත් මේ බදු ආදායම ඉහළ දමලා, රාජ්‍ය ආදායම ඉහළ දමන්න කටයුතු කරලා තියෙනවා.

ඒ අනුව අපි වැඩියෙන් හම්බකරන අයගෙන් යම් බදු ප්‍රමාණයක් ගත්තා. හැබැයි මේක ලෝකයේ අනෙක් රටවල් වලට සාපේකෂව අඩු අගයක් කියන කාරණයත් මතක තබා ගතයුතුයි.

කෙහොම වුනත් අපි අය වැයෙන් පඩි වැඩිකරන්න යනවා කියන කාරණය දන්න නිසා තමයි මේ පිරිස පාරට බැහැලා පඩි වැඩිකරන්න කියලා උද්ඝෝෂණය කළේ. ඒකෙන් මේ අය බලපාපෙරොත්තු වෙන්නේ, අපි තමයි මේක කළේ කියලා තවත් පිරිස තමන්ගේ සමිති වලට බඳවා ගන්නයි. ඉතින් අපි කැබිනට් එකේදී තීරණය කළා, රාජ්‍ය සේවකයින් අව්වේ තියන එක නතර කරන්න. ඒ නිසා අපි මේක ජනතාවට කියනවා කියලත් තීරණය කළා.

මම කළින් කිව්ව හැමෝටම තමන්ගේ පඩි වැඩිකරන්න කියලා කෑගහන් පුළුවන්. ඒත් අද මෙතන ඉන්න අය කාටද කියන්නේ තමන්ගේ මේ ප්‍රශ්න? වයස අවුරුද 55, 60 වුනාම පුද්ගලික අංශයේ අයට අර්ථසාදක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප ලැබෙනවා.

ඒ වගේම පුද්ගලික සහ රාජ්‍ය අංශයේ අයට රැකියාව කරන කාලයේදී රක්ෂණ ක්‍රම තියෙනවා. ඒත් අපේ ත්‍රී රෝද රථ අයට, අනතුරක් වුණොත් ගෙදර අයව කවුද බලාගන්නේ? ඒ වගේම මේ ඉන්න අනිත් අයටත් ඒ වගේමයි. මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. අපේ රටේ මේච්චර කාලයක් සාකච්ඡා ගොඩක් තිබ්බා ඒත් ඒ එකකින්වත් මේකට විසඳුමක් ලැබුණේ නැහැ.

සෑම වෘත්තියකටම ගරුත්වය ලබාදීමත් සාරවත්භාවයක් ලබාදීමත් තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒත් මේ වැඩේට අපි අපේ කාමර වල ඉදගෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදෙස් අරගෙන, ඒවට අනුව කටයුතු කරලා හැරියන්නේ නැහැ. මේක කරන්නේ කොහොමද කියලා ඔබෙන් අහන්න ඕනේ. ඒකයි අපි මේ අදහස් විමසුම පටන් ගත්තේ.

වෘත්තිය සංගම් සමඟ අපි සාකච්ඡා කරනවා. ගමන් ගමට යනවා. අපිට මේ වැඩසහනින් ඕනේ තවත් වෘත්තිය සමිතියක් හදන එක නෙමෙයි, වෘත්තීය සංගම් හැදිමයි. අදාළ වෘත්තීන් වල අය තමයි තමන්ගේ සුදුසුකම් තීරණය කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ වෘත්තිය කොයි තැනට පැමිණිය යුතුද කියන කාරණයත් තීරණය කරන්න ඕනේ ඔවුන්මයි.

උදාහරණයක් විදිහට ත්‍රීවිල් එලවන්න නම්. ත්‍රීරෝද රථ සංගම් එකතු වෙලා පිහිටුවන සංගමයක් විසින් කියන කාරණා සම්පූර්ණ කිරීමෙන් පසුව ඒ සුදුසුකම් තියෙන අයට ලයිසන් එක්ක දෙනවා.

හැම ක්ෂේත්‍රයකම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන කොට අපිට පුළුවන් වෙනවා, හැමෝටම සම අයිතියක් දෙන්න. ඒ වගේම අපි දැනට ඉන්න පිරිසට අමතරව සමාජ ආරක්ෂණයට ඔබවත් දායක කරගන්න ඕනේ කියන කාරණය විශ්වාස කරනවා. වයස අවුරුද 55න් පස්සේ ඔබ සියලුදෙනාමට පරිතෝෂික ක්‍රමයක්, හෝ විශ්‍රම වැටුප් ක්‍රමයක් වැනි සමාජ ආරක්ෂණ ක්‍රමයක් තිබිය යුතුමයි.

මේ සියලුදේවල් අපි අධ්‍යනය කළා. ඊට පස්සේ අපි මේ දේවල් ගිය සතියේ කැබිනට් එකට දැම්මා. කැබිනට් එක මට අනුමැතිය දුන්නා මාස හයක් ඇතුළත මේ රටේ වැඩකරන සියලුම ජනතාවට ආරක්ෂා කරන සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් හදන්න කියලා. ඒ වගේම ඊ.පී.ඒෆ්, ඊ.ටී.ඒෆ්. මේ සිල්ල එකතු කරලා දැනට එම ප්‍රතිලාභ හමුනොවන සියලුදෙනාත් ඉන්න ජාලයක් හදන්න කියලත් මට කිව්වා.

ඒ වගේම දැනට තියෙන සමාජ ආරක්ෂණ ජලාය පුළුල් කරන්න කියලත් කිව්වා. අපේ රටේ සියලුදෙනාම ආරක්ෂා කරන වැඩපිළිවෙලත් තිබිය යුතුයි. එහිදී කාට හරි රැස්සාවක් නැති වුණාම දීමනාවක් දෙන්න ක්‍රමයක් ඇති කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒක හැම ක්ෂේත්‍රයටම දෙන්නයි අපි අදහස් කරන්නේ.”

42.31%
17.27%
32.76%