November 1, 2023

ජය ශ්‍රී මහා බෝධියට පිවිසෙන දකුණු රථ ගාලේ නවතා තිබූ කාර් රථයක තිබී ලක්ෂ 05කට ආසන්න මුදල් හා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

කෑගල්ල, දෙපත්ගම සිට බිරිඳ සහ දරුවන් සමග අනුරාධපුර වන්දනාවේ පැමිණි පුද්ගලයෙක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය සඳහන් කරයි.

වප් පුර පසළොස්වක පොහෝ දින (28) අනුරාධපුර වන්දනාවේ පැමිණ සවස් කාලයේ මිහින්තලය වැඳපුදාගෙන අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි හෝටලයක එදින රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් බවත්, පසුදා උදෑසන (29) ජය ශ්‍රී මහා බෝධියේ පුපූජාවට යෑමට උඩ මළුව දකුණු රථ ගාලේ මෝටර් රථය නවතා තිබියදී මෙම සොරකම සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව උදෑසන 09ට පමණ අනුරාධපුර නගරයෙන් පිටත්ව හලාවත නගරය බලා යෑමේදී තම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් වූ බවත්, එම අවස්ථාවේදී දුරකථන ඇමතුමක් ලබාගැනීමට ජංගම දුරකථනය සෙවූ අවස්ථාවේදී මුදල් සහ දේපල නොමැති බව දැනගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇති බවත්, පොලිසිය පවසයි.

ඒ අනුව කාර් රථයේ තිබී මුදල් රුපියල් අසූ අට දහසක්, රුපියල් එක්ලක්ෂ දොළොස් දහසක් වටිනා ජංගම දුරකථනයක්, දෙලක්ෂ හැට දෙදහස් පන්සියක් වටිනා රන් මාලයක් සොරාගෙන ඇති බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.(දිවයින)

42.31%
17.27%
32.76%