October 31, 2023

එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දැඩි අවදානමකට ඇද දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 07කින් ඊයේ පරාජයට පත්විය.

ඒ, මැදපෙළ පිතිකරුවන්ගේ වගකිම් විරහිත පිතිහරඹය සහ පන්දු යැවීමේදි දැක්වූ දුර්වලතා හේතුවෙනි.

එමෙන්ම, ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළේ පන්දු රැකීමේදීද දුර්වල විලාශයකි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ලබාගත් 04වැනි පරාජය ද විය.

ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ තරගයෙන් අනතුරුව පිටිය වටා ගමන් කරමින් එහි සතුට සමරනු ලැබූහ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 03කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 241ක් පමණි.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 02කදී කඩුලු 03ක් පමණක් දැවී තරගයේ ජය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රහමට් ෂා පන්දු 74කදී හතරේ පහර 07ක් සමග ලකුණු 62ක් රැස්කරන ලදි.

පන්දුයැවීමේදී සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඩිල්ශාන් මදුශංක සමත්වුවද ඊට සහායක් ලබාදීමට යම් දායකත්වයක් ලබාදුන්නේ කසුන් රාජිත පමණි.

ඩිල්ශාන් මධුශංක කඩුලු 02ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් ලබාගත්තේය.

තරගය අවසානයේ ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05⁣වැනි තැන සිට 06වැනි ස්ථානයට පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර තරග තුනක් ජයගත් ඇෆ්ගනිස්තානයට එහි 05වැනි තැන හිමිවිය.