October 30, 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමැතිකම් නොලැබීමත්, ඇමැති මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ඉරිදා ලංකාදීප’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, විමලවීර දිසානායත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී. බී. රත්නායක, එස්. බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඇමතිධූර නොලැබීමත්, පොහොට්ටුවේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමැතිධුර හිතුවක්කාර ලෙස වෙනස් කිරීමත්, මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් වශයෙන් බෙදීම මේ වන විට උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඇමැතිවරුන්ට ගමට ගොස් වැඩ කිරීමට මුදල් නොලැබීම සහ රාජ්‍ය අමාත්‍යාංශය වලට ලේකම්වරුන් පත් නොකිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් කලකිරීමට පත්ව සිටින අතර, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසේ ඉකුත් දා පැවැති සාකච්ඡාවකදී ද මේ පිළිබඳව කතාබහ වී ඇතැයි වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ අයවැයට පෙර යළිත් වතාවක් ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම ඉලක්ක කර මෙම සායෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී ඇමැති මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිගින් දිගටම අසාධාරණය සිදුවුවහොත් අයවැය හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවලදී සුදුසු ප්‍රතිචාර දක්වන බව එම පෙරමුණේ මන්ත්‍රීවරු ගණනාවක්ම පසුගිය කාලයේදී ප්‍රකාශ කළහ.

මේ අතර සමහර ඇමැතිවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය ඉතා පහළ මට්ටමක පවතින බව රජයට පෙනීගොස් ඇත.

මේ අනුව අමාත්‍යාංශ ලේකම් ධූර කිහිපයක් ද ඉදිරි දිනවල වෙනස් කිරීමට නියමිතය.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනාව නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුපත තෙවැනිවර කියවීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදාය.

42.31%
17.27%
32.76%