October 28, 2023

සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන ග්‍රහණය අද (28) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස්වණු ඇත.

අර්ධ චන්ද්‍රග්‍රහණයකදී පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන නමුත් ඒවා සරල රේඛාවක් සාදන්නේ නැත.

මෙය සිදුවූ විට, චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් කුඩා කොටසක් මතට පෘථවියේ සෙවනැල්ලේ අඳුරුතම කොටස (පූර්ණ ඡායාව) පතිත වෙයි.

චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් අද රාත්‍රි 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළු වීමත් සමගය.

අර්ධ චන්ද්‍රග්‍රහණයේ පියෙවි ඇසට දෘශ්‍යමාන කොටස 29 වැනිදා අලුයම 1.05ට චන්ද්‍රයා උම්බ්‍රා හෙවත් පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පූර්ණ ඡායාව කොටසට ඇතුළුවීමත් සමග ආරම්භ වන අතර අලුයම 2.23ට චන්ද්‍රයා ඉන් පිටවන විට අවසන් වේ.

උපරිම ග්‍රහණ අවස්ථාව අලුයම 1.44ට ඇතිවන අතර එවිට සඳ මතුපිටින් සියයට 06ක් පමණ පූර්ණ ඡායාවෙන් ආවරණය වී ග්‍රහණය දැකිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

මුළු කාලය පැය 04කුත් විනාඩි 25ක් වූ මෙම චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 3.56ට පෘථිවියේ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමග සිදුවේ.