October 27, 2023

ආයෝජකයන් විසින් නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට අපොහොසත් වූ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතිය යළි ඇරඹීම ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය තුළ ඩොලර් මිලියන 650ක මෙම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

එහෙත් නාමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනකු මෙම ව්‍යාපෘතිය හරහා රහසිගතව මුදල් ලබාගත බවට චෝදනා එල්ලවීමත් සමග ව්‍යාපෘතිය අතරමග නතර විය.

ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට නව ආයෝජකයකු සොයාගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවෙන බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

“මේ ව්‍යාපෘතිය දැනටමත් රජය භාරගෙන අවසන්. දැන් අපට නව ආයෝජකයෙක් සොයාගැනීමට අවශ්‍යයි.” ලෙස ඔහු පසුගිය දිනෙක පවසා ඇත.

“අපි පෞද්ගලික අංශයට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට හැකි අවසන් දිනයත් ලබා දුන්නා. ඔවුන්ට ඉදිකිරීම් සඳහා බලපත්‍රයක් ලබාදුන් අතර එම බලපත්‍රය ද මේ වනවිට කල් ඉකුත් වී තිබෙනවා.” යනුවෙන් ඔහු සදහන් කර තිබේ.

ඒ පිළිබද සොයා බැලීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්දගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවද ඔහු පවසයි.

“දැන් ඉඩම සහ ගොඩනැගිල්ල දෙකම අපේ. ව්‍යාපෘතිය අවසන් කිරීමට රජයට මුදල් නැහැ. අපි මේ ගැන විදේශ රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරනවා. පහසුම ක්‍රමය නම් ව්‍යාපෘතියේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා ආයෝජකයෙකුට භාර දීමයි” යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%