October 26, 2023

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (25) දහවල් පැවැති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා පලාගිය පුද්ගලයකු සොයා හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

තමන්ගේ නිවෙසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාළ කාන්තාව විසින් පාදුක්ක පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනීසිටීම සඳහා මෙම කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

ඇය සිය කටයුත්ත අවසන් කර නිවෙසට යෑම සඳහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරුපැදියට නැඟීමට යෑමේදී එක්වරම ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් ගෙලට ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 35 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ කාන්තාවගේ සහෝදරයා සහ ඔහුගේ බිරිය සැක සහිත බවට අදාළ කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

42.31%
17.27%
32.76%