October 26, 2023

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ, මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර ඇතුළු තවත් පිරියක් ලබන මස 06 වැනිදා, රාජ්‍ය ඇමැතිනියට පහරදීමක් අම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද මෙම කමිටුව විසින් සිදුවීමට සම්බන්ධවූ සියල්ලන් මෙලෙස කැඳවීමට තීරණය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එදිනම පත් කළ අතර එම කමිටුව ඊයේ (25) පළමු වතාවට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ඒ අනුව අදාළ කමිටුව නැවත ලබන 06 වැනිදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිත අතර අදාළ සිදුවීමට සම්බන්ධ පිරිස හා ඇසින් දුටු පිරිස කැඳවීමට එහිදී තීරණය කර ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකීර් මාකාර්, ගයන්ත කරුණාතිලක යන අය කටයුතු කරති.

මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දර්ශන මෙම කමිටුව මඟින් ඊයේ (25) නරඹා ඇත.

මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු ද ඇතුළත් කිරීමට ඊයේ (25) තීරණය කර ඇති අතර, එම මන්ත්‍රීවරියන් දෙදෙනා නම් කරන ලෙසට ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට දැනුම් දී තිබේ.

ඒ අනුව, අදාළ මන්ත්‍රීවරියන් දෙදෙනා ද මීළඟ විමර්ශන කමිටු රැස්වීමට සහභාගි වීමට නියමිතය.

42.31%
17.27%
32.76%