October 26, 2023

මෙරටින් වාර්තා වන ළමා දූෂණ සිද්ධීන්වලින් අඩක්ම විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විසින් සිදුකර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පැවසුවාය.

ඇය ඊයේ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දැරියන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වූ අතර ඉන් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවයි.

ඉන් 15දෙනකු සම වයසේ අය සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නිසා ගැබ්ගෙන ඇති අතර, 07දෙනෙක් ස්ත්‍රී දූෂණ හේතුවෙන් ගැබ්ගෙන ඇත.

මෙම තොරතුර ඊට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් අනාවරණය කර තිබිණි.

කෙසේ වෙතත් සුජාත පියවරුන් නොමැති දරුවන් 22 දෙනකු මෙලොවට පැමිණීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය ඇමැතිවරිය පැවසුවාය.

එම දරුවන්ගෙන් බහුතරයක් දූෂණයට ලක්ව ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන් වෙතින් බවද රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

“මේ සියලු ස්ත්‍රී දූෂණ සිද්ධීන්වල වගකීම පොලිසිය දැරිය යුතුයි. මේ කියන ස්ත්‍රී දූෂණ සිද්ධීන්වලට සම්බන්ධ බොහෝදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා තහවුරු කළා” යැයි රාජ්‍ය රාජ්‍ය ඇමැතිවරිය චෝදනා කළාය.

42.31%
17.27%
32.76%