October 25, 2023

සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ තමාව පරිසර ඇමැතිවරයා වශයෙන් පත්කිරීම පුදුමයට පත්විය යුතු කරුණක් නොවන බව පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (24) පැවැසීය.

බත්තරමුල්ල පිහිටි පරිසර අමාත්‍යාංශයේ පැවැති දිවුරුම්දීමේන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ , ඇමැතිවරයකුගේ ඇමැති ධූරය වෙනස් කිරීම ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි සමාන්‍ය දෙයක් බවත්, පරිසර ඇමැතිවරයා ලෙස තමා පැවරී ඇති රාජකාරි උපරිමයෙන් ඉටුකිරීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම තමාගේ අමාත්‍යාංශය මාරුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කම්පාවට පත්වූ බව තමා විශ්වාස නොකරන නමුත්, කැබිනට් සංශෝධනය සිදුකළ ක්‍රමවේදය පිළිබඳව යම් යම් ප්‍රශ්න පක්ෂයට තිබිය හැකි බව ඔහු වැඩිදුර සඳහන් කළේය.

සන්ධානයක් ලෙස දේශපාලනය කිරීමේදී ප්‍රශ්න සහ ගැටලු ඇතිවීම සමාන්‍ය දෙයක් බවත්, ලෝක ඉතිහාසය පුරාම සන්ධානගත දේශපාලනය තුළ ප්‍රශ්න ඇති වී ඇති බවත්, එලෙස ඇති වී තිබෙන ප්‍රශ්න විසඳාගැනීමෙන් ආණ්ඩුවට ඉදිරියට ගමන්කළ හැකි බව ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සහ පරිසර අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය විරෝධය පළකරන බවයි.

42.31%
17.27%
32.76%