October 24, 2023

ඊයේ පාකිස්ථානයට එරෙහිව පැවති ලෝක කුසලාන තරඟයේදී සිය කණ්ඩායම සංවේදී ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඇෆ්ගනිස්ථාන පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන්, සිය තරඟයේ වීරයා සම්මානය තම රටේ ජනතාවට මෙන්ම පාකිස්ථානයෙන් පිටුවහල් කරන ඇෆ්ගනිස්ථානුවන්ටද කැප කළේය.

“මට මෙම තරගයේ වීරයා පුදකිරීමට අවශ්‍යයි, පාකිස්ථානයේ සිට ඇෆ්ගනිස්තානයට, ආපසු මව්බිමට යවන ලද පුද්ගලයන් වෙනුවෙන්” තරගයෙන් පසු සම්මානය ලබාගැනීමේදී සද්‍රාන් පැවැසීය.

සද්‍රාන්  මෙම ප්‍රකාශය සිදුකරනු ලබන්නේ, නොවැම්බර් 01වැනිදා වන විට සියලුම ලියාපදිංචි නොකළ සරණාගතයන්ට රට හැර යන ලෙස පාකිස්ථානයෙන් ඉල්ලා සිටින පසුබිමකය.

මෙම තීරණය පාකිස්ථානයේ වෙසෙන ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයන් මිලියන 1.7 කට ආසන්න සංඛ්‍යාවකට බලපා ඇත.

මෙම නිවේදනය තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ දැඩි විවේචනයට ලක් වූ අතර තලේබාන්වරු එය “පිළිගත නොහැකි” තීරණයක් ලෙස නම් කළේය.

සද්‍රාන්ගේ ප්‍රකාශය X (ට්විටර්) සමාජ ජාලයේ වේගයෙන් සංසරණය විය.

ඇතැම්හු මෙම ප්‍රකාශය ගැන ප්‍රශංසා කළ අතර, ඇතැම්හු එය තරඟාවලියේ පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය කිරීමෙන් පසු පාකිස්ථාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ගේ පලස්තීන හිතවාදී ප්‍රකාශය සමඟ සංසන්දනය කළහ.