October 23, 2023

විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ වල වටිනාකම ඉකුත් වසරට සාපේක්ෂව 75% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

පසුගියදා (19) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදි අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා රජය විසින් ලබාදී ඇති දිරිගැන්වීමේ වැඩසටහන් කිහිපයක් මෙලෙස විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑමට මූලික හේතුව වී ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මෙලෙස විදේශ ප්‍රේෂණ ඉහළයෑමට හේතු වී ඇති එක් ක්‍රමවේදයක් වී ඇත්තේ, විදේශගත ශ්‍රී ලාංකිකයන් හට වාහන ආනයන බලපත්‍රයක් ලබාදීමට පියවර ගැනීමයි.

මෙම ක්‍රමවේදය මගින් විදේස් රටවල ස්ථීර පදිංචිය හිමි හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ශ්‍රී ලාංකිකයන් හට, මෙරටට විදේශ ප්‍රේෂණ එවීමට දිරිමත් කර ඇති අතර, එය මත පදනම්ව ඔවුන් හට සම්මත තීරුබදු ගෙවීමෙන් පසු විදුලි වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමටද මෙමගින් අවසර දී ඇත.

මෙම ක්‍රමවේදය තීරුබදු රහිතව වාහන ආනයන කිරීමට අවස්ථාවක් ලබාදීමක් නොවන අතර, එය හුදෙක් විදුලි වාහන සඳහා ලබා දෙන ආනයන බලපත්‍රයක් පමණි.

වාහනය ආනයනය කිරීම සඳහා එම තැන්තාගේම විදේශ විනිමයම භාවිත කරන අතර, එය රටේ විදේශ සංචිතවලට බලපෑමක් එල්ල නොකරයි.

මෙම ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියනකට අධික ආදායමක් උපයා ගැනීමටද සමත්ව ඇත.

මෙම ක්‍රමවේදය, ආනයනය කෙරෙන වාහන සඳහා සම්පුර්ණයෙන්ම තීරුබදු ගෙවන ක්‍රමයවේදයක් වන අතරම, ඉහළ වටිනාකමක් ඇති සුඛෝපභෝගී වාහන සඳහා තීරුබදු සහනයක් ලබාදීමක් සිදු නොකරයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තහවුරු කළේ, මෙම නව ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ ප්‍රේෂණ එවීමට නව විදේශගත ශ්‍රී ලංකකින් පිරිසක් දිරිමත් කිරීමට සමත්වය ඇති බවයි.

මෙම ක්‍රමවේදය හේතුවෙන් රේගු ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් සිදුවූ බවද ශ්‍රී ලංකා රේගුවේ මෝටර් රථ අධ්‍යක්ෂක මණ්ඩලය ද තහවුරු කර ඇත.

කෙරෝනා වසංගතයෙන් සහ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ ප්‍රේෂණ ඉහළ යෑම ඉතා යහපත් ප්‍රවණතාවයකි.