October 22, 2023

‘පන්ජාබ්’ යන නාමයම, සුලග සමඟ පැද්දෙන සශ්‍රීක තිරිඟු කෙත්වල සිට එහි වැසියන්ගේ නිර්භීත කතා දක්වා විචිත්‍රවත් මතකයන් අවදි කරයි.

පන්ජාබ් නොහොත් ගංගා පහේ දේශය බොහෝ පාලකයන් දැක ඇති ප්‍රදේශයක් වන අතර ඔවුන් අතර සික් අධිරාජ්‍යය කැපී පෙනේ.

පන්ජාබයේ සංවර්ධිතම අවධියේදී, අධිරාජ්‍යය පාලනය කරනු ලැබුවේ අද පාකිස්ථානයේ පිහිටා ඇති නගරයක් වන ලාහෝරයේ සිට ය.

බෙදීමෙන් පසු, ලාහෝර් ඇතුළු පන්ජාබ්හි සැළකිව යුතු කොටසක් පාකිස්තානයට පැවැරිණි.

ඓතිහාසික වශයෙන්, එහි පුරාවෘත්තයක් වන් පාලක මහාරාජා රංජිත් සිං සමඟ සීක් අධිරාජ්‍යය ලාහෝර් එහි අගනුවර විය.

ලාහෝරය දෙස ආඩම්බරයෙන් සහ නොස්ටැල්ජියාවෙන් බලන සික් ජාතිකයන්ට හැඟීම්බර වීමට එය පමණක්ද ප්‍රමාණවත් ය.

එහෙත්, ඛලිස්තානය වටා ඇති ආඛ්‍යානය ප්‍රධාන වශයෙන් ඉන්දියානු පන්ජාබ් වටා කේන්ද්‍රගත වී ඇත.

ප්‍රශ්නයක් පැන නගී.

ඛලිස්තානය ඓතිහාසික භූගෝල සිතියමේ මුල්බැස ගෙන තිබේ නම්, එහි අවධානය යොමුවිය යුත්තේ පැරණි සීක් අධිරාජ්‍යයේ වඩා වැදගත් කොටසක් තිබූ පාකිස්ථානය වෙත නොවේද?

එසේම, පාකිස්ථානය බොහෝ ගෞරවනීය සීක් ආගමික ස්ථාන රැසකට නිවහන වේ.

ගුරු නානාක් දේව් ජිගේ උපන් ස්ථානය වූ ගුරුද්වාරා නන්කනා සාහිබ් ආගමික ස්ථානයක් පමණක් නොවේ, එය සීක් ඉතිහාසයේ සහ ඇදහිල්ලේ තොටිල්ලයි.

කර්තාර්පූර් හි ගුරුද්වාරා දර්බාර් සාහිබ් යනු ගුරු නානක් දේව් ජි සිය අවසන් කාලය ගත කළ ස්ථානයයි.

හසන් අබ්දාල් හි පිහිටි ගුරුද්වාරා පන්ජා සාහිබ්, එහි පූජනීය පර්වතය ගුරු නානක් දේව් ජීගේ අත් සලකුණ දරයි. එය තවත් වැදගත් වන්දනා ස්ථානයකි.

මේවා හුදු ගඩොල් සහ බදාම වලින් සාදන ලද ව්‍යුහයන් නොව සීක් ආගමේ සහ එහි පොහොසත් ඉතිහාසයෙහි මුල් ගල් වේ.

පාකිස්ථානයේ එවැනි ගැඹුරු සීක් සලකුණු තිබියදීත්, ඛලිස්තානය සඳහා වූ ඝෝෂාව කුතුහලයෙන් යුතුව ඉන්දියානු පන්ජාබ් කලාපය වෙත සීමා වේ.

පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශය (ISI) පිළිබඳව සළකා බලමු.

ඛලිස්තානි අන්තවාදයට ඉන්ධන සැපයීමට සහ අරමුදල් සැපයීමට ISI මැදිහත්වීම පවතින බවට ඕනෑතරම් සාක්ෂි පවතී.

එහෙත් සෑම විටම ISI මැදිහත්වීම නොසළකා ඛලිස්තානි සාකච්ඡාවේදී පකිස්ථානයේ පන්ජාබ් කලාපය අතහැර දමනු දැකගත හැකිය.

වසර ගණනාවක් පුරා, පාකිස්තානය, එහි සැලකිය යුතු සීක් ඓතිහාසික උරුමයක් තිබියදීත්, එහි සීක් සුළුතරයට අභියෝගාත්මක ස්ථානයක් වී ඇත.

විශේෂයෙන් සීක් අධිරාජ්‍යයේ හරය වූ ප්‍රදේශවල කලක් කලාපයේ ප්‍රබල පැවැත්මක් තිබූ සීක්වරු හිංසාවට සහ කොන් කිරීමට මුහුණ දී ඇත.

වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති, සමාජ කොන් කිරීම සහ ප්‍රචණ්ඩත්වයේ අවස්ථා ඔවුන්ගේ සංඛ්‍යාව අඩු කර ඇති අතර බොහෝ හඬවල් නිශ්ශබ්ද කර ඇත.

අද වන විට පාකිස්ථානයේ ඉතිරිව සිටින්නේ 15,000 ක් පමණ වන සීක් ජාතිකයින් පමණක් වීම මෙම තත්වයන්ගේ අඳුරු පිළිබිඹුවකි. එය ඔවුන්ගේ කලක් සමෘද්ධිමත් වූ ප්‍රජාවට වඩා හාත්පසින්ම වෙනස් ය.

ISI හි සෙවනැල්ල විසින් අපහසු ප්‍රශ්න මතුකරයි.

ඛලිස්තාන් ව්‍යාපාරය අව්‍යාජද, නැතහොත් එය ඉන්දියාවේ නොසන්සුන්තාව ඇති කිරීමේ මෙවලමක් ලෙස හසුරුවන්නේද?

භූ-දේශපාලනික චෙස් ක්‍රීඩාවක ඉත්තන් ලෙස ආගම සහ ප්‍රාදේශීයවාදය භාවිතා කිරීමේ අදහසම ද්‍රෝහී මෙන්ම සීක් ආගමේ ආචාර ධර්මවලට පටහැනි ය.

මෙය සික් ඉගැන්වීම්වල හරය වෙත අපව ගෙන එයි. ගුරුවරුන් දසදෙනා විසින් නියම කරන ලද සීක් දහම සැමවිටම එකමුතුකම, සාමය සහ පරාර්ථකාමී සේවයේ වටිනාකම් දේශනා කර ඇත.

ඛලිස්තානයේ නාමයෙන් දක්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය සහ නොසන්සුන්තාව මෙම මූලධර්මවලට පටහැනි ය.

සිය නිර්භීතකම, කරුණාව සහ ප්‍රජා සේවය සඳහා ප්‍රසිද්ධ වූ සීක්වරුන් දේශපාලන වාසි සඳහා හසුරුවනු ලබන අදහස බැහැර කළයුතුව ඇත.

ඉන්දියාවේ සහ ගෝලීය වශයෙන් සීක් ජාතිකයන්ගෙන් අතිමහත් බහුතරයක් ඛලිස්තානයක් ඉල්ලා නොසිටින බව හඳුනාගත හැකිය.

ඒ වෙනුවෙන් පෙනී සිටින හඬවල් සුළුතරයක් පමණක් වන අතර, ඔවුන් සික් ප්‍රජාවේ සාමූහික යහපතට වඩා පෞද්ගලික හෝ බාහිර අභිරුචිවලින් මෙහෙයවනු ලබන බව කෙනෙකුට අනුමාන කළ හැකිය.

ඉන්දියානු සහ පාකිස්තාන පන්ජාබ් යන දෙඅංශයේම සීක් ආගමේ ඓතිහාසික හා ආගමික මූලයන් ප්‍රතික්ෂේප කළ නොහැකි වුවද, ඛලිස්තාන් ව්‍යාපාරය, අද පවතින පරිදි, සීක් සාරධර්ම හා ඉතිහාසයෙන් බැහැරවීමක් ලෙස පෙනේ.

මෙය නොසන්සුන්තාවක් ඇති කිරීම සඳහා කූඤ්ඤයක් ලෙස භාවිත කිරීම, දේශපාලනික බව පෙනෙන අතර, සීක් ප්‍රජාවේ ඉතිහාසය, සාරධර්ම සහ සැබෑ අභිලාෂයන් තුළින් මෙම ප්‍රශ්නය දෙස බැලීමට කාලය එළඹ ඇත.