October 22, 2023

මෙරට එකම ගල්අඟුරු බලාගාරය වන නොරොච්චෝලේ ලක්විජය වෙත ගල් අඟුරු සැපයීම සඳහා වන දීර්ඝ කාලීන ගල්අඟුරු ටෙන්ඩරය මෙම වසරේදී රුසියාවේ ඛනිජ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන බ්ලැක් සෑන්ඩ් කොමෝඩිටි ( Black Sand Commodity) සමාගම විසින් හිමිකරගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සමාගමක් ලෙසින් 2022 ජුනි මාසයේදී මෙම සමාගම පිහිටුවන ලද්දේ, රුසියානු විශාලතම ගල්අඟුරු නිෂ්පාදකයා වන සයිබීරියානු ගල්අඟුරු බලශක්ති සමාගමේ සුවිශේෂී අපනයන සමාගමක් ලෙසිනි.

බ්ලැක් සෑන්ඩ් සමාගම විසින් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 124ක මිලකට පදනම් වූ අනුපාතයකට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක ප්‍රමාණයක් නැව්ගත කිරීම් 38ක් හරහා සැපයීමට අපේක්ෂා කරයි.

මතභේදාත්මක සැපයුම්කරුවකු වූ , එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් තවත් බලශක්ති සමාගමක් වන කොරල් එනර්ජි සමාගමට පසුව සිටි දෙවැනි අඩුම ලංසුකරු රුසියාවේ බ්ලැක් සෑන්ඩ් සමාගමයි.

කොරල් එනර්ජි සමාගම මෙම දිගු කාලීන කොන්ත්‍රාත්තුව සඳහා මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 123කට ආසන්න මිලකට ලංසු ඉදිරිපත් කර තිබිණි.

මෙම ටෙන්ඩරය මුලින් ලබාදී තිබුණේ එම සමාගමට බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර තමන් මුලින් යෝජනා කළ මිලට ගල්අඟුරු ලබාදිය නොහැකි බව එම සමාගම පසුව දන්වා තිබුණේ, සමාගම් පදනම් වූ කලාපය ආශ්‍රිත ගැටලු පෙන්වාදෙමිනි.

ඒ අනුව, බ්ලැක් සෑන්ඩ් සමාගම දෙවැනි අඩුම ලංසුව ඉදිරිපත් කර තිබූ බැවින් ටෙන්ඩරය පිරිනැමීමට ඔවුන් තෝරාගෙන තිබේ.

දීර්ඝ කාලීන ටෙන්ඩරය සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකරගෙන් කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සැපයීමේ දිගුකාලීන ටෙන්ඩරය ගල්අඟුරු සඳහා අඩු මිලක් ඉදිරිපත් කර තිබූ බ්ලැක් සෑන්ඩ් සමාගමට ලබා දී ඇති බවයි.

“සමාගම නැව්ගත කිරීම් 38ක් සැපයීමට නියමිතයි. පසුගිය වාරය සඳහා කොරල් එනර්ජි සමාගමෙන් අප වෙත ලැබිය යුතු නැව්ගත කිරීම් හයක් මේ වන විට ලැබී ඇති අතර, ඔවුන්ගෙන් තවත් නැව්ගත කිරීම් තුනක් අපේක්ෂා කරනවා. එය අවසන් වූ පසු බ්ලැක් සෑන්ඩ් සමාගමේ සැපයීම ආරම්භ කෙරෙනවා. මෙම වාරය සඳහා, ඔවුන් නැව්ගත කිරීම් 31 ක් සපයනු ඇති. වාරය සඳහා නැව්ගත කිරීම් 40ක් සිදු කරන අතර, ඉතිරි නැව්ගත කිරීම් හත ඊළඟ වාරය සඳහා කල් දමනු ඇති ” යනුවෙන් සභාපතිවරයා පැහැදිලි කළේය.

ඔහු පවසන්නේ, එම සමාගම අඩුම ගාස්තුව පමණක් නොව ඉතා සාධාරණ ගෙවීමේ විකල්පයක් ද ලබා දී ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ වරායට ගල් අඟුරු තොග පැමිණෙන තුරු අපි ගෙවන්නේ නැහැ. පැටවීමේ ස්ථානයේ ගෙවීම් සිදුකරන්නේ නැහැ. පුත්තලමේදී ගොඩබෑමේ දී තමයි ගෙවීම් ආරම්භ වන්නේ. ගෙවීම්වලින් 80% ක් සම්පූර්ණයෙන් ගොඩබෑමට පෙර ගෙවනු ලබන අතර ඉතිරි 20% තත්ත්ව සහතිකය ලැබුණු පසු ගෙවනු ලබනවා,” යැයි ද ඔහු සඳහන් කළේය.

එසේ වුවද, රුසියාවේ බ්ලැක් සෑන්ඩ් සමාගම පසුගිය වසරේ අවධානයට ලක්වූයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ඩොලර් බිලියන 1.4ක කොන්ත්‍රාත්තුවක් ඔවුන්ට ප්‍රදානය කිරීමෙන් පසුවය.

මාස හයක ණය කාලයක් මත වසර තුනකට ලක්විජය බලාගාරය වෙත ගල්අඟුරු මෙ.ටොන් මිලියන 4.5කට ආසන්න ප්‍රමාණයක් සැපයීමට එම සමාගම අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඇතුළුව මෙ.ටොන් එකකට ඩොලර් 328.22ක් වශයෙනි.

කෙසේවෙතත්, ගොනුකර ඇති නීතිමය නඩු සහ ගෙවීම් සහතික කිරීමේ අවදානම පිළිබඳ කනස්සල්ල පළකරමින් බ්ලැක් සෑන්ඩ් සමාගම ටෙන්ඩරය සිදුකිරීමට ඇති නොහැකියාව දන්වා තිබීම හේතුවෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර විසින් ටෙන්ඩරය අවලංගු කරන ලදී.

2022 අගෝස්තු 25 වන දින ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ අඩුම මිල මත පදනම්ව ඉල්ලුම් නොකළ යෝජනා තුනක් තක්සේරු කිරීමෙන් පසුවය.

කෙසේවෙතත්, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ගොනුකරන ලද පෙත්සමක් මගින් ප්‍රකාශ කර තිබුණේ , එම ගල්අඟුරු ටෙන්ඩරය ලබාදී ඇත්තේ සුදුසුකම් ලත් ලංසුකරුවකු නොවන පාර්ශ්වයකට බවයි.

යුක්රේන යුද්ධය හේතුවෙන් තීරණය කරන ලද අතිශයින් ඉහළ මට්ටමක පවතින ගල්අඟුරු මිලක් යටතේ වසර දෙකහමාරක් වැනි දීර්ඝ කාලයක් සඳහා ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩරය මගින් රටට බලකර ඇති බව ද පෙත්සමෙන් කියා පෙන්වා දී තිබේ.

එසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ගොනුකිරීමෙන් පසුව, නීතිමය අවසරය ලබාදෙන තුරු කොන්ත්‍රාත්තුව ඉදිරියට ගෙනයෑම සැපයුම්කරු ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා තහවුරු කළේ, බ්ලැක් සෑන්ඩ් සමාගම දැන් ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සමාගමක් වන අතර, නීතිමය බාධාවක් නොමැති බවයි.

ලක්විජය බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900කට ආසන්න බලශක්තියක් සපයන අතර එය රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් 40%කට ආසන්නය.

(The Sunday Morning)

 

42.31%
17.27%
32.76%