October 19, 2023

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනට එතෙර සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා ඇති හැකියාව හේතුවෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස උපදෙස් ලබාදී ඇත.

“ලෝකය පුරා විවිධ ස්ථානවල ආතතීන් වැඩිවීම, ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා ඇති හැකියාව, (සහ) එක්සත් ජනපද පුරවැසියන්ට සහ අවශ්‍යතාවලට එරෙහිව පෙළපාලි හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියා” හේතුවෙන් “වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස” මෙලෙස අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් නිකුත්කර තිබේ.

පසුගිය සතිය තුළ, රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෙබනනය සහ ඊශ්‍රායලය සඳහා සංචාරක උපදේශනය ඉහළම මට්ටමට ඔසවා ඇති අතර, හදිසි නොවන එක්සත් ජනපද රජයේ නිලධාරීන්ට සහ පවුලේ සාමාජිකයන්ට එම රටවලින් පිටත්ව යෑමට අවසර දී ඇත.

බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද මෙම නිවේදනය මගින්, විදේශයන්හි සිටින එක්සත් ජනපද පුරවැසියන්ට “සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානවල අවදියෙන් සිටින්න” සහ තොරතුරු සහ ඇඟවීම් ලබාගැනීමට සහ විදේශයන්හි හදිසි අවස්ථාවකදී ඔබව සොයාගැනීම පහසු කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ “Smart Traveler Enrollment Program (STEP) වෙත ලියාපදිංචි වන ලෙස උපදෙස් ලබාදී තිබේ.