October 19, 2023

ඊශ්‍රායලයට එල්ල කරන හමාස් ප්‍රහාර හෙළාදකිමින් සහ ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීම වෙනුවෙන් සටන් විරාමයක් ඉල්ලා සිටීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවකට එක්සත් ජනපදය සිය නිෂේධ බලය භාවිත කර තිබේ .

අදාළ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට එක්සත් ජනපදයයි.

ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 12 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර රුසියාව සහ එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

අදාළ යෝජනාව කෙටුම්පත් කර තිබුණේ බ්‍රසීලය විසිනි.

එමගින් සියලුම සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළාදැක තිබිණි.

එහෙත් එක්සත් ජනපදය පැවසුවේ ආත්මාරක්ෂාව සඳහා ඊශ්‍රායලයට ඇති අයිතිය අවධාරණය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වාසිලි නෙබෙන්සියා පැවැසුවේ, “අමෙරිකානු සගයන්ගේ කුහකකම සහ දෙබිඩි පිළිවෙත පිළිබඳ අපි නැවතත් සාක්ෂිකරුවන් වී සිටිනවා” යනුවෙනි.

විවේචනාත්මක යෝජනාවලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය සාමාන්‍යයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිය නිෂේධ බලය භාවිත කළ අවස්ථා තිබිණි.

කවුන්සිලයේ අතිමහත් බහුතරය,එනම් රටවල් 12ක්ම එම යෝජනාවට සහායදුන් අතර, දින කිහිපයක සාකච්ඡාවලින් පසුත් කවුන්සිලයට එකට එකතු වී මෙම මතය ඉදිරිපත් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඔවුන් සිය කලකිරීම ප්‍රකාශ කර තිබේ.