October 18, 2023

නොවැම්බර් මාසයේ අයවැයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක නිලයන් ඇතුළු රජයේ ඉහළම තනතුරුවල දැඩි වෙනස්කම් සිදුකිරීමට ඉඩ ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

ඇතැම් ඇමැතිවරුන්ට සිය ඇමැතිධූරවල කටයුතු කිරීමට නොහැකිවීම සහ ඇතැම් ඉහළ ආරක්‍ෂක තනතුරුවල වෙනසක් සඳහා ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයට උණුසුම දැනෙමින් පවතින අවස්ථාවක මෙම පියවර ගෙන තිබේ.

නව පොලිස්පතිවරයෙකු පත්කිරීමේ අර්බුදය මධ්‍යයේ, C.D. වික්‍රමරත්නට පොලිස්පතිධුරයේ කටයුතු කිරීමට සති තුනක කාලය දීර්ඝ කිරීමක් ලබාදී ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා නිර්දේශ ලබාගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හටට ඉදිරියේදී එම ධූරය හිමිවීමට ඉඩ ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

C.D. වික්‍රමරත්නට ලබාදී ඇති සේවා දිගුව මේ මස අවසානයේදී අවසන් වේ.

දේශබන්දු තෙන්නකෝන්ට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ගේ සහාය ලැබී ඇති අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය ද හිමිවනු ඇත.

සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධන යටතේ මේ වන විට දැනට සිටින ඇමැතිවරුන් වෙනුවට සෞඛ්‍ය සහ ක්‍රීඩා විෂයන්ට නව පුද්ගලයන් පත්කරනු ඇතැයි පැවැසේ.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමැතිධූරයේ නිසි ලෙස කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් මාස කිහිපයක සිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට (එජාප) අදාළව, 2025 මහ මැතිවරණයට සූදානම් වීම සඳහා නොවැම්බර් මාසයේ අයවැයෙන් පසු බිම් මට්ටමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙස එජාපයේ සියලුම සාමාජිකයින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

2020 මහ මැතිවරණයෙන් නින්දිත පරාජයකට මුහුණ දුන් එජාපය, මීළඟ මහ මැතිවරණයට පෙර ගොඩනැගීමේ උත්සාහයක නිරත වන අතර, පක්‍ෂය යළි එකමුතු කර ශක්තිමත් කිරීම සඳහා දැනට රජයේ නිලතලවල සිටින සියලුම මන්ත්‍රීවරුන්ට නොවැම්බර් මාසයෙන් පසු ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දී ඇත.

2025 මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ තරග කිරීමට බලාපොරොත්තු වනු ඇතැයි සිතිය හැකිය.

42.31%
17.27%
32.76%