October 17, 2023

අඩු මිල ජනන මධ්‍යස්ථාන පිහිටුවීමට ඇති අවස්ථා මෙරට විදුලිබල අංශයේ වෘත්තීය සමිති විසින් යටපත් කර බවත්, එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ පාරිභෝගිකයින්ට බවටත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පළකර තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් යළි ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටින පසුබිමකදීය.

වෘත්තීය සමිතිවලට එවැනි සංදර්ශන පවත්වාගෙන යෑමට ඉඩදීමෙන් පාරිභෝගිකයින්ට විශාල ගාස්තු ගෙවීමට සිදුවනු ඇති බව නන්දික පතිරගේ වැඩිදුරටත් පෙන්වාදෙයි.

කෙසේවෙතත්, වර්ෂාව අඛණ්ඩව පවතින බැවින් ජල විදුලි උත්පාදන පිරිවැය අඩුවීමට ඉඩ ඇති බව ඔහුගේ අදහස වී තිබේ.

“මහා භාණ්ඩාගාරයෙන් අපට තවදුරටත් සහාය නොදක්වන බැවින් ජූනි මාසයේ බදු අඩුකිරීමෙන් අහිමි වූ ආදායම පියවා ගැනීමට යම් අපහසුවක් තිබෙනවා. මේ වියදම දරන්නේ ජනතාව. ජනන වියදම් ඉහළ යනවා නම් ජනතාව ඒ සඳහා ක්‍රියාකාරී විය යුතුයි. මෙය සෑම විටම පාලනය කිරීමට වෘත්තීය සමිතිවලට ඉඩදීමෙන් අපට විශාල විදුලි බිලක් ගෙවීමට සිදුවෙන්න පුළුවන්”යැයි ඔහු පැවසීය.

ඔහුට අනුව අඩු වියදම් විදුලි බලාගාර සඳහා ඉතිහාසයේ සිටම බාධා සිදුකර ඇත්තේ වෘත්තීය සමිති වන අතර, එහි වන්දිය ගෙවීමට ජනතාවට සිදුවී ඇත.

මේ අතර,ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රකාශක එම්. ඩී.ආර්. අතුල කියාසිටියි.

“දැන් ජලාශ වාන් දමනවා. දැන් වැඩිපුර ජල විදුලිය නිෂ්පාදනය කළොත් මේ පාඩුව පියවාගන්න පුළුවන්. ඇමැතිතුමා කියනවා රුපියල් බිලියන 30ක පාඩුවක් තියෙනවා කියලා. නියඟය නිසා තමයි මේ පාඩුව වුණේ. ජල විදුලි උත්පාදනය වැඩිකිරීම හරහා දැන් මෙය ගොඩගන්න පුළුවන්. අපි ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා අඛණ්ඩව ගාස්තු ඉහළ දැමීම නවත්වා ජනතාවට සහන සලසන ලෙසයි” යනුවෙන් ඔහු පැවසීය.

මේ අතර විදුලි ගාස්තු නියාමනය කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලි මිල ඉහළ නැංවීම සඳහා මෑතකදී ඉදිරිපත් කළ ප්‍රධාන උපකල්පන ප්‍රශ්න කරමින්, ලංකා විදුලිබල මණ්ඩලයට නව ගාස්තු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබිණි.

විදුලිබල මණ්ඩලය ඉල්ලා තිබුණේ සියයට 22ක ගාස්තු වැඩිවීමකි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ, ඉල්ලුම ප්‍රකෘතිමත් වීම සඳහා සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස දෙක වෙනුවෙන් වූ විදුලිබල මණ්ඩලයේ පුරෝකථනය සැබෑ ඉල්ලුමට වඩා අඩු බවය.

ගණනය කිරීමේදී යම් යම් ගැටලු ඇති බව වාර්තා වූ බවත්, මේ වනවිට එය විසඳී ඇතැයි අපේක්ෂා කරන බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ ද පැවැසීය.

මෑත කාලීනව ලැබුණු වර්ෂාවත් සමඟ ජල ධාරිතාව පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වැඩි වූ අතර ගල් අඟුරු මිලද පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩු වී තිබේ.

මැයි 15වැනි දින ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.40 සිට රුපියල් 52.60 දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද පෙන්වා දී තිබිණි.

එක්සත් ජනපද ඩොලරය රුපියල 323.50ක ස්ථාවර තබාගැනීමට ශ්‍රී ලංකාව මහ බැංකුව බොහෝදුරට කටයුතු කර ඇති අතර ඊශ්‍රායල-හමාස් ගැටුම හමුවේ ඉහළ යනු ඇතැයි සිතූ දැඩි ගෝලීය බලශක්ති මිල ද මේ වනවිට ස්ථාවර වෙමින් තිබේ.

ගල් අඟුරු උත්පාදනය ගිගාවොට් පැය 1,444 සිට ගිගාවොට් පැය 1,334 දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇතත්, ගල් අඟුරු බලශක්ති උත්පාදනය පහත වැටීමට වඩා, ඉල්ලුම පහත වැටීමක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කර තිබේ.(Economynext)

42.31%
17.27%
32.76%