October 16, 2023

ඇෆ්ගන් ජාතිකයන් සතුව තිබූ පාකිස්ථානු විදේශ ගමන් බලපත්‍ර 12,000කට අධික සංඛ්‍යාවක් සොයාගැනීමට සෞදි අරාබි බලධාරීන් සමත් වී තිබේ.

එය පාකිස්ථානයේ ජාතික ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ කනස්සල්ල මතුකරන තත්ත්වයකි.

එක්ස්ප්‍රස් නිව්ස් වාර්තාකර තිබුණේ, රියාද් බලධාරීන් මේ සම්බන්ධයෙන් පකිස්ථාන රජය දැනුවත් කර ඇති බවයි.

දැනට සැක පළ වී ඇත්තේ, පාකිස්ථානයේ ක්‍රියාත්මක විවිධ විදේශ ගමන් බලපත්‍ර මධ්‍යස්ථාන හරහා ඇෆ්ගනිස්ථාන පුරවැසියන් විසින් මෙම වංචනික විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා බවය.

ඊට ප්‍රතිචාර ලෙස පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය එම අමාත්‍යංශයේ, මධ්‍යම විමර්ශන ඒජන්සියේ සහ තවත් රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් පිහිටුවා තිබේ.

මෙම කමිටුවේ මූලික වගකීම් අතර ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සහ සම්බන්ධවූවන්ගේ ලැයිස්තුවක් සැකසීම ඇතුළත් වේ.

මෙම පුද්ගලයන්ට එරෙහිව එරට නීතියට අනුකූලව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

ඔක්තෝබර් මාසය අවසන් වන විට පාකිස්ථානයේ සිටින සියලුම නීතිවිරෝධී විදේශීය පදිංචිකරුවන්ට රට හැර යන ලෙස පාකිස්ථාන රජය අවසාන නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ මෙම තත්ත්වය වර්ධනය වී තිබේ.

ඇෆ්ගන් ජාතිකයන්ගේ පැතිකඩ පිළිබඳ “ජාතික ආරක්ෂාව පිළිබඳ පටු දැක්මක්” සහිත මෙම නියෝගය පාකිස්ථානයේ මානව හිමිකම් කොමිසමේ කනස්සල්ල ප්‍රකාශ කිරීමට පොළඹවා තිබේ.

කෙසේවෙතත් පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් ජාතිකයන්ට හිරිහැර හෝ අත්අඩංගුවට ගැනීම්වලට මුහුණදීමට සිදුනොවන බවට රජය සහතික වී තිබේ.

පකිස්ථානයේ නීතිවිරෝධී ලෙස ජීවත් වන ඇෆ්ගන් පුරවැසියන් ඉවත්කිරීමේ ක්‍රියාවලිය පසුගිය සතියේ ආරම්භ වූ අතර, ඒ යටතේ ට්‍රක් රථ 16කින් පවුල් 20ක් ටෝර්කාම් දේශසීමා වෙත ප්‍රවාහනය කෙරිණි.

නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු, මෙම පවුල් 20ට අයත් පුද්ගලයන් 350 දෙනෙකුට ඇෆ්ගනිස්ථානයට ඇතුළුවීමට අවසර ලැබේ.