October 16, 2023

චීනය ශ්‍රී ලංකාව සමඟ මූලික ණය ගනුදෙනුවකට එළැඹීමෙන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේ නිල ණය දීමේ කමිටුවට පිටතදී ද්විපාර්ශ්විකව ණය පිළිබඳව සාකච්ඡා කිරීම ඔවුන්ට වඩාත් පහසු බව යැයි ස්වෛරී ණය විශේෂඥයකු වන බ්‍රැඩ් සෙට්සර් පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර රැස්වීම්වලට සමගාමීව එක්සත් ජනපද අත්ලාන්තික් කවුන්සිල චින්තන පර්ශදය විසින් පැවැත්වූ උත්සවයකදී ස්වෛරී ණය විශේෂඥ බ්‍රැඩ් සෙට්සර් පැවසුවේ, චීනය ශ්‍රී ලංකාව සමඟ ණය ගනුදෙනුවකට එළඹ ඇත්තේ අනෙකුත් ණය හිමියන් සමඟ හොඳින් සම්බන්ධීකරණය නොවූ පසුබිමක බවය.

“ද්විපාර්ශ්විකව සාකච්ඡා කිරීම චීනය වඩාත් පහසුයි” යැයි ඔහු එහිදී පැවසීය.

කෙසේවෙතත්, චීනය එකම ද්විපාර්ශ්වික ණයහිමියා පමණක් නොවන ලෝකයක එය ප්‍රධාන ගැටලුවක් බවත්, චීනය ද්විපාර්ශ්වික ණය හිමියකු මෙන්ම වාණිජ ණයහිමියකු ද වීම ගැටලුවක් බව ඔහුගේ මතය වී තිබේ.

චීනයේ මුල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කරන බැංකුවක් වන චීන සංවර්ධන බැංකුව (CDB) වාණිජ ණයහිමියකු ලෙස සැළකිව යුතු බවට චීනය විසින් තීරණය කර තිබුණ ද, වාණිජ ණය හිමියන් ලෙස සැළකෙන වෙනත් රාජ්‍ය වාණිජ බැංකු තිබෙන බව සෙට්සර් පෙන්වා දුන්නේය.

එබැවින් චීනය සමඟ ද්විපාර්ශ්වික සහ වාණිජ ණය සඳහා සාකච්ඡා කිරීම සහ එලෙස ඇති කරගන්නා ගනුදෙනු අනෙක් පාර්ශ්වයට රහසක් ලෙස තබාගැනීම ණයගැතියන්ට ඉතා අපහසු බවත් සෙට්සර් පවසයි.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය විසින් සම සභාපතිත්වය දරන නිල ණයදීමේ කමිටුවේ ණය ප්‍රතිකාර්ම වෙනුවෙන් රටවල් 17ක් සහභාගී වී සිටියි.

පසුගිය සතියේදී , ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ප්‍රධාන මූලධර්ම සහ දර්ශක කොන්දේසි පිළිබඳ ණය ප්‍රතිකර්ම එකඟතාවකට එළැඹ තිබිණි.

එම ගිවිසුම මගින් දළ වශයෙන් ඩොලර් බිලියන 4.2ක හිඟ ණය ආවරණය කෙරේ.

එය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රධාන පියවරකි.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ පෞද්ගලික ණය හිමියන් විසින් ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනාවක් යොමුකර ඇති බව රොයිටර්ස් වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට සම්බන්ධ සිය සමහර ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වුවහොත්, 2027 වසරේ සිට ඇරඹෙන කොටස් ගෙවීම් ස්වයංක්‍රීයව පහත හෙළීමට හේතු සාධක වන නිත්‍ය ස්වෛරී බැඳුම්කර සහ සාර්ව සම්බන්ධිත බැඳුම්කර නිකුත් කරනු ඇති බවට මෙම යෝජනාවෙන් පුරෝකථනය කර තිබේ.