October 16, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, ඊට අමතරව ‘එක් තීරයක් සහ එක් මාවතක්’ වැඩසටහනේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සමුළුවට සහභාගි වීමට නියමිතය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු චීන සංචාරය මෙය වන අතර, ඔක්තෝම්බර් 20 වැනිදා දක්වා ඔහු එරට සංචාරය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා සමුළුව අතරතුර චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා කරනු ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, වැඩබලන තාක්ෂණ ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති කනක හේරත් වැඩබලන කාන්තා හා ළමා කටයුතු ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් සහ වැඩබලන පරිසර ඇමැතිවරිය ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පත් කර තිබේ.

මේ අතර, චීන හිතවාදියෙක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශද ‘එක් තීරයක් සහ එක් මාවතක්’ වැඩසටහනේ 10 වැනි සංවත්සරය සැමරීමට චීනය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.