October 16, 2023

මීටර් 800 ආසියානු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට තරුෂි කරුණාරත්න සමත් වී තිබේ.

ඒ පසුගියදා නිමාවුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී ඇය ලැබූ ඓතිහාසික ජයග්‍රහණයත් සමඟනි.

ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම නව යොවුන් ක්‍රීඩිකාව ආසියානු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබේ.

කීර්තිමත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ තවත් ජවසම්පන්න ක්‍රීඩිකාවක වන තරුෂි ,මෙම වසර මුලදී ප්‍රධානතම ආසියානු ක්‍රීඩා ඉසව් තුන සඳහා සුදුසුකම් ලැබීමේ ප්‍රමිතීන් සපිරූ මොහොතේ සිට ආසියානු කලාපයේ මීටර් 800 වේගවත්ම ක්‍රීඩිකාව විය.

එහෙත් ආසියානු ක්‍රීඩා උලෙළට පෙර තරුෂි එම ඉසව්වේ මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක වූ ගයන්තිකා අබේරත්නට සහ කලාපීය ප්‍රතිවාදීන් කිහිපදෙනකුට වඩා පසුපසින් සිටියේ ඇය ඉහළම ශ්‍රේණියේ තරගවලට සහභාගි නොවූ බැවිනි.

ආසියානු ක්‍රීඩා උලෙළට පෙර තරුෂි කරුණාරත්න ආසියානු ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ පසුවූයේ පිළිවෙළින් ඉන්දියාවේ කේ.එම්. චන්දා, ගයන්තිකා අබේරත්න, ජපානයේ අයනෝ ෂියෝමි සහ අයිරි ඉකෙසාකි ඉදිරියේ සිටි පසුබිමකය.

18 හැවිරිදි තරුෂි මේ වනවිට ඇගේ නම ඉදිරියෙන් ලකුණු 1186ක් සටහන් කරගෙන් සිටියි.

ජූලි මාසයේ පැවැති ආසියානු ශූරතාවලියේ දෙවැනි ස්ථානයට පත්වූ ඉන්දීය ක්‍රීඩිකා චන්දා, නව ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරුෂිට වඩා ලකුණු 06ක පරතරයකිනි.

ආසියානු ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ ගයන්තිකා අබේරත්න මීටර් 800 ආසියානු ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවෙයි.

එය ශ්‍රේණිගත කිරීම්වලදී ලකුණු 1000කට වඩා ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු පමණක් සිටින රටක් මේ වසරේ ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි.

විනාඩි 02:15.00ට අඩු කාලයකින් මෙම ඉසව්ව නිමාකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වසරේ දී මෙරටින් වාර්තා වී ඇත්තේ 12කටත් අඩුවෙනි.

මේ වසරේ එම කාලයට වඩා අඩු කාලයකින් ඉසව්ව නිමාකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23ක් ඉන්දියාව සතුව සිටින අතර, එම කාලය වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44ක් පමණ චීන සතුව සිටියි.

විස්මයජනක ලෙස එම කාලය වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 175ක් ජපානයට සතුව සිටියි.

කෙසේවෙතත් තරුෂි සහ ගයන්තිකා ලැබූ ජයග්‍රහණයන්ට ප්‍රධාන වශයෙන්ම ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්ගේ පුහුණුකරුවන් වන සුසන්ත ප්‍රනාන්දුට සහ සජිත් ජයලාල්ටය.

දේශීය ශූරතා තරඟවලින් තොරව තම පෞද්ගලික දක්ෂතාවලට එරෙහිව තරඟ කිරීමේ කලාව ඔවුන් විසින් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට මැනවින් ප්‍රගුණකරවා තිබීම ඊට හේතුවේ.

කනිෂ්ඨ අංශයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ තත්පර 02:00.66ක් කාලය මෙම වසරේ ලොව පස්වැනි වේගවත්ම කාලය වේ.

මේ අතර ගයන්තිකා මීටර් 800 සහ මීටර් 1500 යන ඉසව් දෙකේදීම දස්කම් දක්වමින් ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 1200ක් ලබාගෙන ඇති බැවින්, ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට අනුව සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇයයි .

පිරිමි සමස්ත කාණ්ඩයේ මීටර් 400 ප්‍රවීණයා වන අරුණ දර්ශන ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ශ්‍රී ලාංකිකයාය.

ඔහු මීටර් 400 ඉසව්වෙන් ආසියානු කලාපයේ හයවැනි ස්ථානයේ පසුවේ.