October 15, 2023

ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ දියත් කිරීමට නියමිත ඒකාබද්ධ හමුදා-විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම සඳහා ෂී යැන් 6(Shi Yan 6) නම් චීන සමීක්ෂණ හා පර්යේෂණ යාත්‍රාවට ඉඩ ලබානොදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙම පර්යේෂණය මේ වසරේ ඔක්තෝබර් මස අග සහ නොවැම්බර් මස අතර කාලයේ දිවයිනේ සුවිශේෂී ආර්ථික කලාපය කේන්ද්‍රකර ගනිමින් සිදු කිරීමට නියමිතව තිබේ.

මෙම චීන යාත්‍රාව මීට පෙර චීනය විසින් පාලනය කරන හම්බන්තොට වරායට කිලෝමීටර් 1,000ක් නැගෙනහිරින් ස්ථානගතව සිටි අතර, එය දැනට බෙංගාල බොක්කෙහි චෙන්නායි සිට නාවික සැතපුම් 280ක් පමණ නැගෙනහිරින් ස්ථානගතව සිටියි.

ඩීසල් ටොන් 2000කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යන මෙම නෞකාවේ තවත් මාස දෙකක් සඳහා ප්‍රමාණවත් සැපයුම් පවතී.

නෞකාව සැප්තැම්බර් 23 වැනිදා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී තිබිණි.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ඉල්ලීම සළකා බලමින් සිටින බවය.

කෙසේවෙතත් පසුගිය 11 වැනි දින ජනාධිපතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී, ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්.ජයිශංකර් වෙත ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය කිසිදු පාර්ශ්වයකට ගැති නොවූවක් බව වාර්තා විය.

මේ අතර ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි උපුටා දක්වමින් ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත්තේ, නොවැම්බර් මාසයේදී කොළඹ ගැඹුරු වරායේ නැව්ගත කිරීම සඳහා චීන නෞකාවට ශ්‍රී ලංකාව දැනටමත් අවසර ලබාදී ඇති බවය.

“චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය” අතර පවතින “විශාල බල එදිරිවාදිකම්” සමඟ “සම්බන්ධ වීමට” තම රටට කිසිදු සැලසුමක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

පසුගිය වසර පහ තුළ චීන නෞකා ඉන්දියන් සාගර කලාපයේ ක්‍රියාකාරීව කටයුතු කර ඇති අතර, කාලීනව එම සංඛ්‍යාව සැළකිව යුතු ලෙස වැඩි වී තිබේ.

2019 වසරේ වාර්තා වූ යුද නෞකා, බැලස්ටික් මිසයිල ලුහුබැඳීම්, සමීක්ෂණ සහ පර්යේෂණ යාත්‍රා ඇතුළු මුළු යාත්‍රා සංඛ්‍යාව 29ක් වූ අතර, 2020දී එය 39ක් දක්වාත්, පසුව 2021දී 45ක් සහ 2022දී එය 43ක් දක්වාත් වර්ධනය වී ඇත.

මේ වසරේ සැප්තැම්බර් 15 වැනිදා දක්වා චීන නැව් 28ක් කලාපයෙන් වාර්තා වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි මාසයේ සිදුකළ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එකිනෙකාගේ ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධීකරණය කිරීමට දෙරට අවබෝධයෙන් කටයුතු කිරීම අවශ්‍ය බවය.

කෙසේවෙතත්, නෞකාව පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව විසිනි.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයෙන් ‘එක් තීරයක් එක් මාවතක් මුලපිරුම’ට අදාළ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ ඔක්තෝබර් 17-18 දිනවල බීජිං වෙත ලන්ගාවිමෙන් පසු මෙම ගැටලුව විසඳනු ඇති බවට අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් Shi Yan 6 හි සංචාරය සඳහා නිශ්චිත දින වකවානු තවමත් ප්‍රකාශයට පත්කර නැත.

42.31%
17.27%
32.76%