October 15, 2023

විදුලිය ගාස්තු තවත් සියයට 22 කින් ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනාවෙන් පසු විදුලිය පරිභෝජනය තවදුරටත් පහත වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිල දත්ත අනාවරණය කරයි.

මෙම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම ද පසුගිය මාස තුන තුළ පහත වැටී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාසික මුල්‍ය ප්‍රකාශනවලට අනුව 2023 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල විදුලිබල ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 4573කින් පහත වැටී තිබේ.

ජූලි මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් රුපියල් මිලියන 55,163ක් දක්වා අඩුවී ඇති අතර, අගෝස්තු මාසයේදී එම අදායම පහතවැටී තිබුණේ රුපියල් මිලියන 53,193ක් දක්වාය.

සැප්තැම්බර් මාසයේදී එය රුපියල් මිලියන 50,590 දක්වා තවදුරටත් පහතවැටී ඇත.

මෙම තත්ත්වය යටතේ සියයට 22ක ගාස්තු වැඩිවීමක් හෝ පාරිභෝගිකයන්ගේ විදුලි බිල්පත් ගෙවීමේ සෑම ස්ථරයකටම රුපියල් 08 බැගින් වන බද්දක් අයකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු නන්දික පතිරගේ පවසා ඇත.

දැනට භාණ්ඩාගාර ප්‍රදානවලින් හෝ රාජ්‍ය බැංකු ණයවලින් විදුලිය උත්පාදන පිරිවැය පියවාගැනීමේ හැකියාවක් නොමැති බවත්, මේ මාසයේ තවත් ගාස්තු වැඩිකිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර විදුලිබල මණ්ඩලයේ හිඟ ණයවලින් සියයට 20ක් පමණ පියවා ගැනීමට සහනදායී ණය ලබාදීම, ණය කොටස්වලට පරිවර්තනය කිරීම සහ ඇතැම් බැරකම් පවරාගැනීම සඳහාත් භාණ්ඩාගාරය දැනටමත් සහාය ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේවෙතත් අගෝස්තු මාසය වන විට විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන්ට සහ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 212ක් ගෙවීමට නියමිතව තිබිණි.

2023 වසර අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු මුදලින් සියයට 70ක් මහා භාණ්ඩාගාරය විසින් අවශෝෂණය කරගනු ඇති අතර, එහි මාසික ඉපැයීම් සමඟ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ගේ හිඟ මුදල් පියවීමට මණ්ඩලය සහතික වී ඇති බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%