October 15, 2023

මෙරට රාජ්‍ය බැංකු 06ක් හදිසි ප්‍රතිසංස්කරණවලට භාජනය කිරීමට නියමිත බව තතු දත් නිල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලංකා බැංකුව, HDFC බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ මහජන බැංකුව ඇතුළු බැංකු 06ක් මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිතය.

මෙම හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී ඇත්තේ දැවැන්ත බොල් ණය, හදිසි අරමුදල් සහ ද්‍රවශීලතා සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන තත්ත්වයන්ට මතුව ඇති පීඩනය හේතුවෙනි.

ණය සහන දීමනා මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හේතුවෙන් ශේෂ පත්‍රවලට ඇතිකර තිබෙන බලපෑම යටතේ බොල් ණය කපාහැරීම්වලින් පසු මෙම දේශීය බැංකු සඳහා රුපියල් ට්‍රිලියන 1.4ක් ප්‍රාග්ධනය ලෙස අවශ්‍ය වී තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් මෑතකදී කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය සහ නව අරමුදල් සමඟ, බැංකු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නම්, ප්‍රාග්ධන යොමුවක් ලබාදීමට මහ බැංකුවට සහ රජයට වඩා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ යටතේ දුර්වල බැංකු ශක්තිමත් බැංකු සමඟ ඒකාබද්ධ කිරීමට ඉඩ ඇති අතර අර්බුදකාරී රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ද විකල්පයක් ලෙස සළකන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් රාජ්‍ය බැංකු ඉවත් කිරීමේ කිසිදු තීරණයක් පිළිබඳව මහ බැංකුවට දැනුම් දී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

යෝජිත රාජ්‍ය ව්‍යවසාය නීතිය යටතේ අන්තර්-අමාත්‍යාංශ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්ති කමිටුවක් පිහිටුවීමට නියමිත අතර, එමඟින් රාජ්‍ය ප්‍රතිපත්තිවල පුළුල් ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම, රාජ්‍ය ව්‍යවසාය අනුමත කිරීම සහ අත්පත් කරගැනීම හෝ රාජ්‍ය ව්‍යවසාය විමධ්‍යගත කිරීම සහ අවසන් කිරීම අනුමත කිරීම සිදුකිරීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්ති කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන අතර, එහි සාමාජිකයන් ලෙස මුදල්, ආයෝජන ප්‍රවර්ධන සහ කම්කරු ඇමැතිවරුන්, මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා සහ අදාළ සමාගමේ සභාපතිවරයා ඇතුළත් වේ.

වත්කම්වල ගුණාත්මකභාවය පිරිහීම, විදේශ විනිමය පිරිහීම සහ ස්වෛරීත්වය පැහැරහැරීම හේතුවෙන් බැංකුවල ප්‍රාග්ධනයට ඇති බලපෑම තක්සේරු කිරීම අරමුණු කරගත් රාජ්‍ය බැංකුවල ගැටලු හඳුනාගැනීම මේ වනවිට අවසන් කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව හඳුනාගෙන ඇති ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා හිඟයන් ලබන මාසය වන විට පියවාගැනීම සඳහා මූල්‍ය අංශය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ ප්‍රාග්ධනීකරණය සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට මහ බැංකුවට උපදෙස් දී ඇති බව ද මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර තිබේ.

2024 ජනවාරි වන විට පෞපුද්ගලික මූලාශ්‍රවලින් ප්‍රාග්ධනය සොයාගත නොහැකි බැංකු සඳහා පිරිනමන රාජ්‍ය ප්‍රාග්ධනීකරණයේ ප්‍රමාණය, පිරිනමන වේලාව, නියමයන් සහ කොන්දේසි මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කරනු ඇත.