October 15, 2023

ඩීඑස්අයි(DSI) සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂවරුන් වන තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව පවතින නඩුව 2023 නොවැම්බර් 20 වැනිදා යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණය තීරණය කර ඇත.

ඒ, පසුගිය ඔක්තෝබර් 09වැනිදා නඩුව කඳවූ අවස්ථාවේදීය.

DSI සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වා මෙලෙස අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කර ඇතැයි පැමිණිලිකරු පෙන්වාදී ඇත.

ඉහතකී අධ්‍යක්ෂවරු විසින් සජිත් රාජපක්ෂව DSI සැම්සන් සමූහයේ සමාගම් 03ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, තවත් සමාගම් 05ක අධ්‍යක්ෂ ධූරයෙන්ද ඉවත්කර ඇති අතර, ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත පිහිටුවනු ලෙස අධිකරණය නියෝගකර ඇත.

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සජිත් රාජපක්ෂට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇති අතර, ඊට අදාලව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අතරතුර කාලයේදී ඔහුව අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට එම අධ්‍යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බවද පැමිණිලිකරු අධිකරණයට වාර්තා කර තිබේ.

හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු විසින් අදාළ සමාගමේ කොටස් සහ ලාභාංශ පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කරගැනීමට ඉදිරිපත් කළ ලද යෝජනාවක් හේතුවෙන් මෙරට විශාලතම පෞද්ගලික සමාගම්වලින් එකක් වන DSI සැම්සන් සමාගමේ අධ්‍යක්ෂවරු අතර ගැටුම් නිර්මාණය විය.

2023 අප්‍රේල් මුල් සතියේදී අදාළ යෝජනාව හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින් DSI සැම්සන් සමූහයේ ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපයක් මෙහෙයවනු ලැබේ.

සජිත රාජපක්ෂ එම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර, අදාළ සමාගම් ජාලයේ වැඩිම විදෙස් විනිමය ගෙන එන සමාගම වන සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම මෙහයවනු ලබන්නේ ඔහු විසිනි.