October 13, 2023

කිසිදු අපේක්ෂකයකුට හෝ දේශපාලන පක්ෂයකට මැතිවරණයෙන් 50%කට වැඩි ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වනු ඇතැයි යන්න සළකා, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පැතිරෙන තොරතුරු හේතුවෙන් දේශපාලන ලෝකය කැළඹීමට පත්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් කෙටුම්පත් කර ඇති බවද වාර්තා වේ.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය” යන මෙම කැබිනට් පත්‍රිකාව පිළිබඳව මහජන ජනමත විචාරණයක් කැඳවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවට අදහස් පළවේ.

ඒ පිළිබඳව වාර්තාවීමෙන් පසු දේශපාලන පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර එවැනි මතයක් පාර්ලිමේන්තුවේ දී මතු වූවහොත් විරෝධය පළකිරීමට යෝජනා සම්මත කරගෙන ඇත.

දැනටමත් එම විරෝධතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශයට පත්වෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ කාලය 2024 දී අවසන් වන බව ප්‍රකාශ කෙරුණද, වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හරහා පත්වී ඇති බැවින්, ඔහුගේ ධුර කාලය වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන් වන 2025 මහ මැතිවරණය දක්වා බලපැවැත්විය යුතු බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම්, එය සිදුවිය යුත්තේ 2025 මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව බවද පොදුජන පෙරමුණේ ස්ථාවරය වී ඇතැයි පැවැසේ.

ජනතා විමුක්ති පෙරමුණ සදහන් කර ඇත්තේ, මෙවැනි අදහසක් පාර්ලිමේන්තුවට පැමිණියහොත් එයට විරුද්ධ වන බවයි.

සමගි ජන බලවේගය ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, 2025 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රථමයෙන් නව ආණ්ඩුවක් පත් කර ගත යුතු බවත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට විරෝධය පළ කරන බවත් සදහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ පසු ජනාධිපතිවරයා සමඟ මහජන ජනමත විචාරණයක් කැඳවීමට සාකච්ඡා කරන බවට ප්‍රචාරයක් පවතින බවයි.

නීතියට අනුව මහජන ජනමත විචාරණයක් කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණකි.

ජනමත විචාරණයේ ප්‍රතිඵල මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද සදහන් වේ.

එසේ වුවහොත් 2024 නොවැම්බරයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය ද කල් දැමීමට ඉඩ තිබෙන වාර්තා වේ.

2024 සහ 2025 ශ්‍රී ලංකාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සමඟ තීරණාත්මක වසරක් වනු ඇතැයි දැනටමත් ඇති තරමින් ඉඟි පළවී ඇත.