42.31%
17.27%
32.76%
October 12, 2023

පාසල් දරුවන්ට නිසි පෝෂණය නොලැබීම නිසා ඇතිවන ඌන පෝෂණ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සබලකෘත සහල්(Fortified rice) දිවා ආහාර වේලට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර වැඩසටහන සහයෝගය පළකර ඇත.

අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ එකතු කර පෝෂණ ගුණය වැඩි කරන ලද සහල් සබලකෘත සහල් ලෙස හැඳින්වේ.

මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ලෝක ආහාර වැඩසටහනේ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගීවී තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ පාසල් දරුවන්ට පෝෂණය සඳහා අවශ්‍ය යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සබලකෘත සහල් නිෂ්පාදනය කරයි.

දේශීය සහල්වලට 01%ක් සබලකෘත සහල් මිශ්‍ර කිරීම ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කලන්කුට්ටිය සහල් සැකසීමේ මධ්‍යස්ථානයේදී සිදු කරනු ලබයි.

මෙම වැඩපිළිවෙල අනුව පාසල් ළමුන් මිලියන 1.5කට සබලකෘත සහල් සහිත ආහාර වේලක් ලබාදෙන අතර, එම කටයුතු සඳහා ලෝක ආහාර වැඩසටහන විසින්‍ ඩොලර් මිලියන 02ක මුදලක් ලබාදීමට නියමිතය.

එම වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයක් අනුව සබලකෘත සහල් ආහාර වේලට එකතු කිරීම මඟින් ඌන පෝෂණ තත්ත්වය 09%ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව සනාථවී තිබේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර දේශීය සහල් සැකසීමේදී වර්තමානයේදී සහල්වල පෝෂණ කොටස් ඉවත් වන බවත්, බොහෝ විට ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව තිබෙන්නේ පෝෂ්‍යදායී කොටස්වලින් තොර සහල් බවත් පෙන්වාදී ඇත.

බොහෝවිට සහල් සැකසීමේදී විටමින් B සහ විටමින් B12 බහුලව අඩංගු නිවුඩ්ඩ ඉවත් කරනු ලබයි. එම නිවුඩු කොටස් සත්ව ආහාර වශයෙන් යොදා ගන්නා අතර, සතුන්ට ලැබෙන ප්‍රයෝජනය මිනිසුන්ට නොලැබෙන බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එම නිසා මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

රජය විසින් දිවා ආහාරයට වෙන්කර ඇති මුදලින් සහල් සඳහා වන මුදල් ප්‍රමාණය ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහි ප්‍රකාශ කර තිබේ.

මෙහි නියාමන ව්‍යාපෘතිය අනුරාධපුර, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%