42.31%
17.27%
32.76%
October 12, 2023

පලස්තීන අන්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කරන දරුණු බෝම්බ ප්‍රහාරවලට මැදිවී අතුරුදන්ව සිටින තම ස්වාමි පුරුෂයා හැකි ඉක්මණින් සොයාදෙන ලෙස එරට තානාපතිවරයා ඇතුළු නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව අතුරුදන්වී සිටින සුජිත් නිශ්ශංකගේ බිරිද වන ජයභා මධුවන්ති සඳහන් කරයි.

ඊශ්‍රායල් හා පලස්තීන අන්තවාදීන්ගේ ප්‍රහාර මැද අතුරුදන් වී ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් අයෙක් වන්නේ වෙන්නප්පුව බටහිර කොළින්ජාඩියේ පදිංචිකරුවෙක් වන සුජිත් නිශ්ශංක බණ්ඩාර යටවර නම් දෙදරු පියෙකි.

ඔහුගේ මුල් පදිංචිය මැදිරිගිරිය ප්‍රදේශයේ වන අතර, විවාහයෙන් අනතුරුව කොළින්ජාඩිය ප්‍රදේශයේ නිවසක් මිලට ගෙන මෑතකදී එහි පදිංචි වී ඇත.

වයස අවුරුදු 48ක් වන ඔහු, 13 හැවිරිදි දියණියකගේ සහ 08 හැවිරිදි පුතකුගේ පියෙක් වේ.

ඔහු මීට වසර 08කට පමණ පෙර ඊශ්‍රායලයේ රැකියාවට ගොස් ඇති අතර, 2015 වසරේදී ප්‍රථම වරට මෙරටට පැමිණ බිරිඳ හා දරුවන් සමඟ සිට නැවතත් ඊශ්‍රායලයට ගොස් ඇත.

ඔහු බිරිඳ සමඟ වට්ස්ඇප් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරගනිමින් දුක සැප බෙදාගෙන ඇති අතර, අවසන් වරට පසුගිය 07 වැනිදා පෙරවරු 11ට පමණ ඔහු සමග කතාකරමින් සිටියදී දරුණු බෝම්බ ශබ්ධයක් ඇසුණු බවත්, ඒ සමගම පින්තූර බොඳව සබදතාව විසන්ධි වූ බවත්, ඔහුගේ බිරිඳ පවසයි.

සුජිත් බණ්ඩාරගේ බිරිඳගේ නැගණිය හා ඥාති මාමා කෙනෙක් ද ඊශ්‍රායලයේ ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයට නුදුරින් රැකියාව කරන බවත්, ඔවුන්ද තම සැමියා සොයමින් සිටින බවත්, ඇය සඳහන් කර ඇත.

සිය සැමියා සොයා සාධාරණයක් කර දෙන ලෙස ඊශ්‍රායල් රටේ තානාපති ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මෙන්ම සිය සැමියා පිලිබඳ තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙසත් ඇය ඉල්ලා තිබේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%