42.31%
17.27%
32.76%
October 12, 2023

මේ දිනවල, සෑම නාලිකාවකම මධ්‍ය ලක්ෂය වී ඇත්තේ ඔහුය. සෑම පුවත්පතකම, කතානායකයා වී ඇත්තේ ද ඔහු ය. ඔහු පිළිබඳ දැක්වෙන සියලු අර්ථකථක වචන හතරකට සම්පිණ්ඩනය කොට පෙළ ගස්වන්නේ නම්, ඔහු විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයෙකි.

රංගනය, ගායනය, ලේඛනය, භාෂණය, දේශනය,ගවේෂණය, චිත්‍රණය සහ සන්නිවේදනය යන සෑම කොදෙව්වක්ම එකහා සමානවම අතික්‍රමණය කළ නැතිනම් දිග්විජය කළ කිසිවකු මගේ ජීවිත කාලය තුළ හෝ මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලාංකේය නාමයෙන් මට හමුවී නැත. හමුවූයේ ඔහුම පමණි. හේ අන් කවරකුත් නොව මා මිත්‍ර පනාපුත්‍ර ජැකා ය.

ජැකා පිළිබඳ ඉතා සමීප වූ දිගු මතකයට වඩා, මට මේ මොහොතේ ස්මරණය වන්නේ, ලියෝ ටොල්ස්ටෝයි විසින් ඇන්ටන් චෙකොෆ් පිළිබඳව තැබූ සටහනයි. මන්ද, එය අපේ කතානායකයාට ද එලෙසින්ම වලංගු වන බැවිනි.

ජැකා වූ කලී, ඔබේ හදවත පිරී ඉතිරී යනතෙක් ශතවර්ෂ ගණනාවක් පුරා නැවත නැවතත් කියවිය හැකි පුස්තකයකි. නැවත නැවතත් රස විඳිය හැකි නාට්‍යයකි. නැවත නැවතත් නැරඹිය හැකි චිත්‍රපටියකි. එසේම නැවත නැවතත් මිමිණිය හැකි අපූරු ගීතයකි. අවසන සැබවින්ම ඔහු ජීවිතය පිළිබඳ කලාකරුවෙකි.

වර්තමාන මාධ්‍ය භාවිතයන් තුළ සමාජ පරිකල්පනයට හා රසවින්දනයට සිදුවන බලපෑම නිසා සංස්කෘතික අනන්‍යතාව ගිලිහෙන බව වරෙක, ඔහු ලියුවේය. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු අතීත කාමය නොවේ යැයි වරෙක, ඔහු කියුවේ ය.

සංස්කෘතික අනන්‍යතාව අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය කිරිමේ වගකීම. ගුරුවරුන් හා කලාකරුවන් තම දෙඋර මතට ගත යුතු යැයි වරෙක ඔහු දිවුලේ ය.

එහෙත්, හස්ති ප්‍රහාරයෙන් බරපතළ ලෙස ගිලන් වූ අස්ථි සහිතව ඇඳට සීමා වී පණ සමඟ පොරබදන අවසන් යාමයේ පවා, අශිෂ්ටත්වය ඉතා කුරිරු ලෙස ඔහුට ආමන්ත්‍රණය කිරීම සරදම්කාරී සංස්කෘතික ඛේදවාචකයක් නොවන්නේද?

ආවඩා … ආයුබෝ වේවා යි සියලු ශ්‍රී ලාංකිකයන්ට හදවතේ ගැඹුරුම පත්ලෙන් ආශිර්වාද කළ ඔහුට, ධම්ම පදය, බයිබලය භගවත්ගීතාව සහ කුරාණය දෝතින් ගත් මිලියන සංඛ්‍යාත මිනිසුන් එකාවන්ව, එසේම වේවා යි පෙරළා ප්‍රාර්ථනා කරද්දී ම ඔහු අවසන් නින්ද තෝරාගත්තේය.

දුරින් සිට හෝ ඔහු බලන්නට තිබූ ආශාව ගැන ප්‍රදීපා සහ මවිසින් කුමාරිට කීවේ මීට සති දෙකකට පෙරයි. එම අවස්ථාව
පමණක් නොව, අවසන් හෝරාවේ හෝ ඔහුට සමුදෙන්නට තිබූ නිමේෂය පවා මට අහිමිව ඇත.

සමාවෙයන් ජැකා..
උඹට සුව නින්දක්..!!

(ඩලස් අලහප්පෙරුම ජැක්සන් ඇන්තනි ගැන ලියූ ‘දිවයිනේ’ පළව තිබූ සටහනක්)

42.31%
17.27%
32.76%