October 6, 2023

ශ්‍රී ලංකාව ඔවුන්ගේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය සමග ශක්තිමත් ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියකට එළඹීමට අපොහොසත්වීම හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් සඳහා වන ක්‍රියාවලියේ ඉදිරි ප්‍රවේශය අවහිර වී ඇති බව දැන් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රි ලංකාවේ සංචාරය කළ අතර එහිදී ද ඔවුන්  මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මන්දගාමී ප්‍රගතිය පෙන්වා දෙන ලදී.‍එහිදී ප්‍රධාන කරුණක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් “මූල්‍ය සහතික කිරීම්” අවධාරණය කර තිබේ. එමෙන්ම ඔවුන්ගේ පළමු සමාලෝචනයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330 ක දෙවන ණය  වාරිකය මුදා හැරීම  ප්‍රතික්ෂේප කරමින් අසාර්ථක ශ්‍රේණි ගත කිරීමක් ලබා දී ඇත.

එවන් පසුබිමක් තුළ චීනයේ “එක් තීරයක් – එක් මාවතක්” යන කලාපීය යටිතල පහසුකම් ගොඩනැගීමේ වැඩසටහනේ 10 වැනි සංවත්සර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් මැද භාගයේ චීනයේ සංචාරය කිරිමට සූදානමින් සිටියි.රජයේ ආරංචි මාර්ග පවසන්නේ එම සංචාරයේදී ජනාධිපතිවරයා ණය සහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිත බවයි.

මේ පසුබිම තුළ කොළඹ පිහිටි ආසියානු සහ බටහිර දූත මණ්ඩලවල බහුවිධ රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර , ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනයේ ඇඟිලි ගැසීම් ප්‍රශ්නයක් බව සදහන් කර තිබේ.

ඉකුත් මාර්තු මස අගදී අමෙරිකානු ඩොලර් මිලියන 330 ක පළමු ණය වාරිකය අනුමත කිරීමෙන් පසු මෙරට ණය වාර්තා අධ්‍යයනය කළ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල පැවසුවේ අතිරේක ආධාර සඳහා කොළ එළියක් දැල්වීමට නම් මූල්‍යකරණ සමාලෝචනය සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බවයි.මෙම මූල්‍ය සහතික සමාලෝචන මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට මෙන්ම, එය නියමිත වේලාවට සහ වැඩසටහනේ ණය ඉලක්කයට අනුකූලව අවසන් කරනු ඇති බවට  විශ්වාසයක් ලබා දෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානි Peter Breuer පවසා ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලන මූලික මූල්‍ය සහතික ලබා දීම සඳහා ඉක්මනින් ඉදිරියට පැමිණියේ  ජපානය සහ ඉන්දියාවයි.කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය පැමිණියේ අවසන් වරටයි.

එමෙන්ම චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වසර දෙකක කාලයක් ලබා දුන් අතර පවතින ණය ගෙවීම සඳහා නව ණය ලබා දීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ.ඒත් ඒ කොන්දේසි සහිතව වීම විශේෂත්වයකි.

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවක් කෙටුම්පත් කිරීමේ අරමුණින් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් සභාපතිත්වය දරන ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවකට සම්බන්ධ වීමට ඉකුත් අප්‍රේල් මාසයේ කළ ආරාධනාවක් චීනය ප්‍රතික්ෂේප කර තිබුණි. චීනය එහිදී පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා රජය සමඟ සෘජුව ගනුදෙනු කිරීමට තීරණය කර ඇති බවයි.

එහිදී ඉන්දියාව ඇතුළු ණය හිමියන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ මෙම තීරණය සමඟ එකඟ වූ අතර චීනය සමඟ ද්විපාර්ශ්වික මට්ටමින් ගනුදෙනු කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවට ඉඩ දෙන ලදී.පසුගිය වසරේ මැද භාගයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ  ද්විපාර්ශ්වික ණය දෙන්නන්ට සමාන සැලකිල්ලක් ලබා දෙන බවට සහතික වී තිබේ.

මේ අතර ඉකුත් මැයි මාසයේ ජපානයේ ටෝකියෝ නුවර පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණේ “අපිට වෙනම ගනුදෙනුවක් නැහැ. අපි එක පක්ෂයකට වාසියක් දෙන්නේ නැහැ, අපි එකම ප්‍රතිපත්ති මත වැඩ කරනවා.” යනුවෙනි.

මේ පසුබිම තුළ චීනය විසින් ශ්‍රී ලංකාව ණය ග්‍රහණයේ තබා ගෙන ඇති බව පැහැදිළිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ඇනහිටීම මෙන්ම  අසාර්ථක ණය සමාලෝචනය රනිල් වික්‍රමසිංහගේ  චීන සංචාරය අවශ්‍යතා වැඩි කර ඇත්තේ එවන් පසුබිමක් තුළය.

ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩි සහයෝගයක් ලබා ගැනීමට උත්සාහ කරන බැවින්, චීනය සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අනෙකුත් ණය හිමියන් සමඟ පවතින ගනුදෙනු රඳවා තබා ගැනීමේ බාධකයක් ලෙස සැලකේ.

2022  වසරේ මැයි මාසයේදී, ශ්‍රී ලංකාව මෙම සියවසේදී ස්වෛරී ණය පැහැර හරින ලද පළමු ආසියානු පහළ මධ්‍යම ආදායම් ලබන රට බවට පත් විය.

ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය පිළිබඳ සලකා බැලීමේදී මහාමාර්ග, ගුවන් තොටුපළක් සහ  වරායක් ඇතුළු විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන ණය මුදල් ආයෝජනය කර ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට චීනයට සිදුව තිබේ.ඩොලර් බිලියන 7.4 ක් හෙවත් 2021 අවසානයේ චීනයට ලැබිය යුතු හිඟය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයවලින් 19.6%ක්.ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇත්තේ ප්‍රධාන වශයෙන් චීනයේ  බැංකු දෙකකින් වේ.ඒ චයිනා එක්සිම් බැංකුව අමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් සහ චීන සංවර්ධන බැංකුව වූ ඩොලර් බිලියන 3 ක් ලෙසයි.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට චීනය දක්වන අපැහැදිලි ප්‍රතිචාරය හමුවේ චීනයේ අපේක්ෂාව කවරේද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරමින් සිටී.