October 11, 2023

ව්‍යාජ ලියකියවිලි මත ගෙන්වූ ප්‍රමිතියෙන් තොර , ස්නායු රෝගාබාධ සඳහා ප්‍රතිකාර වශයෙන් ලබාදෙන මානව ප්‍රතිදේහ (ඉයුම්සෝ ග්ලෝබියුලින්) ජීවිත අවදානමට ලක්විය හැකි මට්ටමේ ඒවා බැවින් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර තිබේ.

එම ප්‍රතිදේහ නික්ෂේපණ රෝහල්වල භාවිතය සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙසට ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

දැනට මෙම ඖෂධය ලබා දුන් රෝගීන් සහ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂණය පිළිබද දැඩි අවධානයක් යොමු කරන ලෙස ද එම වෛද්‍ය සංගමය ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එහිදී අනතුරු අගවා ඇත්තේ, තත්ත්වයෙන් බාල මෙම මානව ප්‍රතිදේහ හේතුවෙන් රෝගීන් ඒඩ්ස් වෛරස (H.I.V), හෙපටයිටීස් බී හා සී වැනි අනපේක්ෂිත රෝග තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවයි.

එබැවින් අදාළ ඖෂධ ලබාගත් රෝගීන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත නිරීක්ෂණයට ලක් කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

මෙවැනි මිලදී ගැනීම් සහ අක්‍රමිකතා තවදුරටත් සිදු වී ඇත්දැයි සොයා බලා එවැනි තත්ත්වයන් ඇති වීමට පවතින ඉඩකඩ වළක්වන ලෙස ද විශේෂඥ වෛද්‍යවරු ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ජාවාරම නවතාලීමට නම් ඖෂධ ගෙන්වීමේදී රජයේ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ, ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩරයක් ලබා දීමේදී එහි පිටපත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී වෙත ලැබෙන බැවින් ව්‍යාජ ලේඛන නම් එම ඖෂධ රෝහල් වෙත බෙදා හරින තෙක් නිශ්ෂබ්දව සිටියේ මන්දැයි ප්‍රශ්න කරන ලෙසයි.

මේ පිළිබද තොරතුරු අනාවරණය වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොවූ බවට ද ඔහු චෝදනා කර ඇත.

ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි ප්‍රියා රත්නායක මෙහිදී සදහන් කළේ, කොළඹ සහ මාතලේ රෝහල්වල මානව ප්‍රතිදේහ ශරීර ගත කළ රෝගීන් කිහිපදෙනෙකු බරපතළ ආසාත්මිකතාවන්ට ගොදුරු වී සිහිසුන් තත්ත්වයේ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ඇති බවයි

 

42.31%
17.27%
32.76%