October 11, 2023

පාකිස්ථාන කණ්ඩායම 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 06කින් පහසුවෙන් ජයගනු ලැබීය.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 345ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායම තරගය ජයගත්තේ කඩුලු 04ක් පමණක් දැවී සිටියදීය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, කුසල් ජනිත් පෙරේරා සමගින් පැතුම් නිස්සංක ය.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 05කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ එක්වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 102ක සබඳතාවක් ගොඩනැගූහ.

10වැනි එක් දින අර්ධ ශතකය ලබාගත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 51ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් සිය තුන්වැනි එක් දින ශතකය රැස්කළේ පන්දු 65ක් පමණක් වැය කරමිනි.

ඔහු ඊයේ වාර්තා අතරට එක්වූයේ, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී වේගවත්ම ශතකය රැස්කළ ශ්‍රී ලංකා පිතිකරු ලෙසිනි.

කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් ලබාගත්තේය.

මංගල එක්දින ශතකයද සමගින් සධීර සමරවික්‍රම වේගවත් ලකුණු 108 ක් රැස්කළේ ය.

ඔහු පන්දු 89කින් එම ලකුණු සංඛ්‍යාව රැස්කළේ 04 පහර 11ක් සහ 06 පහර 02ක් එල්ල කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 344ක් රැස්කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, මස්පිඩු ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල්ගත කර ඇති බවයි.

පාකිස්ථාන ඉනිම ආරම්භ කළේ, අබ්දුල්ලා ශෆීක් සහ ඉමාම් උල් හක් ය.

පාකිස්ථානයේ මුල් පෙළ කඩුලු 02 ලකුණු 37කදී බිඳ වැටිණි.

දිල්ශාන් මදුශංක එම කඩුලු ද්විත්වයම දවාගත්තේ ය .

අබ්දුල්ලා ශෆීක් එක්දින ක්‍රිකට් පිටියේ මංගල ශතකය අද රැස් කළ අතර මොහොමඩ් රිස්වාන් අද රැස්කළේ එක්දින ක්‍රිකට් පිටියේ තුන්වැනි ශතකයයි.

පාකිස්ථානය මෙම තරගයේදී, මීට පෙර 2011 වසරේ බැංගලෝර්හිදී එංගලන්තයට එරෙහිව අයර්ලන්තය විසින් ලබාගත් ලකුණු 328ක ඉහළම ලෝක කුසලාන හඹායෑමේ වාර්තාව අලුත් කර සිය නමට ලියාගත්තේය.

එසේම ඉනිම් 67කදී ලකුණු 3,000 සම්පූර්ණ කළ ඉමාම් උල් හක්, එම සන්ධිස්ථානය වෙත දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්විය.