42.31%
17.27%
32.76%
October 10, 2023

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් ආණ්ඩුව විසින් සකස් කරන බවත්, එය ජනතාව රැවටීමේ උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස පවසන්නේ, දැනටමත් නියමිත මැතිවරණ ප්‍රමාද කර ඇති වත්මන් ආණ්ඩුව, ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ තවදුරටත් කල්දැමීමට උපාය මාර්ග සකසමින් සිටින බව රහසක් නොවන බවයි.

මෙම සූදානමට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාව ඇතුළත් වන අතර එය මහජනතාව රැවටීමේ උත්සාහයක් ලෙස අපි සළකමු. මෙම යෝජනාව වස මිශ්‍ර කේක් ගෙඩියක් පිරිනැමීම හා සමාන වන අතර මෙමගින් රටේ පුරවැසියන් නොමඟ නොයනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ, පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධී ලෙස කල් දැමීමේ ආණ්ඩුවේ පියවර ක්‍රියාව ජනතා පරමාධිපත්‍ය බලය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි.

“ජනතාවගේ නීත්‍යානුකූල ජනවරමක් නොමැති නායකයන් ජනතාවගේ සැබෑ සහයෝගය සහ ආශිර්වාදය ලබා ගැනීමට අපොහොසත් වේ. පාලන තන්ත්‍රයන් අවස්ථාවාදී ලෙස බලය අල්ලා ගනිමින්, විවිධ දේශපාලන උපක්‍රම යොදා ගනිමින් ජනතා කැමැත්ත මඟ හරිමින් අවසානයේ තම ජාතීන් ඛේදවාචකයට ගෙන යන බව ලොව පිළිගත් සත්‍යයකි.

එපමණක් නොව, පසුගිය කාලයේ මැතිවරණ කල්දැමීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ රට ඛේදජනක ප්‍රතිවිපාක රාශියක් අත්විඳ ඇත. රට නැවතත් අඳුරු යුගයකට ගෙන යෑමට වත්මන් ආණ්ඩුව කැමැත්තෙන් සිටිනවාද යන්න අප ප්‍රශ්න කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති මැතිවරණ ප්‍රමාද කිරීම හෝ නොසළකා හැරීම රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරමට බරපතල ප්‍රහාරයක් බව අවිවාදිත ය.

එමනිසා මැතිවරණය ප්‍රමාද නොකළ යුතු අතර කල් දැමීමේ ප්‍රශ්නයක් ඇති නොවිය යුතුය. සමච්චල් කිරීම, අපහාස කිරීම සහ නින්දා කිරීම තුළින් මහජන පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හෑල්ලූවට ලක්කළ ජනාධිපතිවරයකුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකින් මැතිවරණයක් අපේක්ෂා කිරීම දුරදිග යන සිහිනයක් ලෙස පෙනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, මෙම දුක්ඛිත ගමන් පථයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම භාවිත කිරීමට අපි සම්පූර්ණයෙන්ම සූදානම්.” යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසා ඇත.

42.31%
17.27%
32.76%