October 9, 2023

ICC ලෝක කුසලාන තරඟාවලියට පැමිණි පකිස්ථාන කාන්තා ක්‍රිකට් විස්තර විචාරක සහ ක්‍රීඩා නිවේදිකාවක් වන සයිනබ් අබ්බාස් (Zainab Abbas) හට ඉන්දියාවෙන් පිටව යන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

ඇය රටින් පිටුවහල් කරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ ඉරිදා රාත්‍රියේ වුවද ඒ වන විටත් ඇය ඩුබායි වෙත ගොස් සිටි බවත් වාර්තා සඳහන් කරයි.

මෙලෙස සයිනබ් අබ්බාස් හට ඉන්දියාවෙන් පිටවන ලෙස දැනුම්දී ඇත්තේ, ඇයට එරෙහිව ඉන්දීය නීතිඥවරයකු වන විනීත් ජින්ඩාල් විසිනි ගොනුකරන ලද පැමිණිල්ලක් හේතුවෙනි.

ඇය හින්දු භක්තිකයින්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කර ඇති බවට චෝදනා එල්ලවී ඇත.

කාශ්මීරය සම්බන්ධ ප්‍රශ්න අවුලුවාලමින් යුද්ධ කිරීමේ චේතනාවෙන් ප්‍රකෝපකාරී අදහස් පළකර ඇති බවට විනීත් ජින්ඩාල් පෙන්වාදී තිබේ.

එසේම මෙම අදහස් සිය ගිණුම ඔස්සේ පළකිරීමේදී සයිනබ් අබ්බාස් විසින් ඉන්දියාවේ කීර්තිමත් චරිතයක් වන සචින් තෙන්ඩුල්කාර්වද ‘ටැග් කර’ ඇති බවද චෝදනාවේ සඳහන් වේ.

ඇය විසින් මෙම ට්විටර් සටහන් වලින් සමහරක් මේ වන විට ඇයගේ ගිණුමින් ඉවත් කර ඇති නමුත්, තවත් කිහිපයක් ඉතිරිව ඇති බවද පැවැසේ.