42.31%
17.27%
32.76%
October 9, 2023

දෙණියාය හෑන්පාඩ් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෞඛ්‍යට අහිතකර සුදු සීනි දුඹුරු සීනි සමඟ මිශ්‍ර කර, දුඹුරු සීනි ලෙස වෙළෙඳපොළට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2,000ක් හා උපකරණ අත්අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මෙම කර්මාන්ත ශාලාව හා ගබඩාව ඉකුත් 06 වැනිදා සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වටළා ඇත.

එහිදී සීනි කිලෝ 2,000ක් සහ උපකරණ ලෙස කොන්ක්‍රීට් මිශ්‍රණයක්, තරාදියක්, ගෑස් ලිපක්, සීලරයක්, ඇසුරුම් කවර ඇතුළු භාණ්ඩ එම ස්ථානයේ තිබී සොයාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් සඳහන් කර තිබේ.

සුදු සීනිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර දුඹුරු සීනි බවට පත්කර වෙළෙඳපොළට බෙදාහරින බවට කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද ලිඛිත මහජන පැමිල්ලක් මත මෙම වැටළීම සිදුකර ඇත.

වැටළීම සිදුකරන අවස්ථාවේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා එහි සිට නැති අතර, ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ ඔහු සීනි තොගයක් ගෙන ඒම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් ඇති බවයි.

වැටළීම සිදුකිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සීනි හා උපකරණ නිවෙසේ තබා මුද්‍රා තැබීමට පියවර ගත් බව දෙණියාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

කර්මාන්ත ශාලාව හා ගබඩාව පවත්වාගෙන ගිය නිවෙස ආශ්‍රිතව ඇති සීනි ගෝනිවලට විශාල ලෙස මී මැස්සන්, දෙඹරුන්, බඹරුන්ද පැමිණ ඇති බවත්, එම සතුන් දුම් ගසා විනාශ කර දමා ඇති ආකාරය දැක ගැනීමට ලැබුණු බවත්, වැටළීමට ගිය නිලධාරීන් සඳහන් කර ඇත.

නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සීනිවල හා උපකරණවල වටිනාකම මෙතෙක් ගණන් බලා නොමැති බව නිලධාරීන් සඳහන් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් භාරයට ගත් සීනි, උපකරණ සමඟ සැකකරු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%