42.31%
17.27%
32.76%
October 9, 2023

අලි මිනිස් ගැටුම හේතුවෙන් 2018 සිට 2022 දක්වා අලි මරණ 1967ක් ද , අලින්ගේ පහරදීම හේතුවෙන් පුද්ගලයන් 667 දෙනෙක් ද මරණයට පත්ව ඇතැයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

මෙම කාලයේ අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 12කට අධික බවත්, මෙම වසරේ මේ දක්වා පමණක් අලි මරණ 273ක් සිදුව ඇති බවත්, මෙහිදී හෙළිවී තිබේ.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර හුස්ම සංවිධානයේ නියෝජිතයන් කාරක සභාව හමුවේ පවසා ඇත්තේ අලින්ගේ ශරීරවල ඇති වෙඩි උණ්ඩ ගැන විපරමක් කළහොත් එම වෙඩි උණ්ඩවලින් සියයට හැටක්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවයි.

හක්ක පටස්, විදුලිය දැමීම වැනි හේතු මත සිදුවන අලි මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නීතියක් නැතැයි ද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් නීති කෙටුම්පතක් සකස් කර දෙන ලෙස සභාපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.

කලාවැව රක්ෂිතය මේ දක්වා රක්ෂිතයක් ලෙස ගැසට් කර නොමැති බවත්, එම ගැසට්ටුව ඉදිරියට ගෙනඒමට කොතෙක් උත්සහ කළද එය හමස් පෙට්ටියට යන බවත්, හුස්ම සංවිධානයේ නියෝජිතයෝ සඳහන් කර ඇත.

එමෙන්ම කලාවැව රක්ෂිතය අලි මරණ රැසක් සිදුවන කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හෙට (10) එම ආංශික අධික්ෂණ අධික්ෂණ කාරක සභාවට නැවතත් කැඳවීමට නියමිතය.

දුම්රිය මාර්ගයේ අලි ඇතුන් මිය යන්නේ එකම කලාපයක බවත්, අවුරුදු ගණනාවක් ගත වුවද අලි ගැටළු පවතින එම කි.මීටර් 7-8 ප්‍රදේශය හඳුනාගෙන අලි ඇතුන්ගේ ඇතුන්ගේ ආරක්ෂාවට ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත්වී ඇති බවත්, එම කමිටුවේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

42.31%
17.27%
32.76%