October 8, 2023

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට මුහුණ දුන්  ශ්‍රී ලංකාව කණ්ඩායම සටන්කාමී තරගයක් ලබාදී දකුණු අප්‍රිකානු  කණ්ඩායම හමුවේ ලකුණු 102කින් පරාජයට  පත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර, එහිදි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ටෙම්බා බවුමා ලකුණු 08ක්ව තිබියදී දැවීගියේය.

කෙසේ වෙතත්, ක්වින්ටන් ඩි කොක් සහ රසී වැන්ඩර් ඩූසන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දෙවන කඩුල්ලට ලකුණු 204ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුහ.

ඒ අනුව ක්වින්ටන් ඩි කොක් සිය මංගල ලෝක කුසලාන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ රැස්කිරීමට සමත්විය.

රසී වෑන් ඩූසන් ලකුණු 108ක් සහ ඒඩ්න් මාර්ක්‍රම් වේගවත් ඉනිම ක්‍රීඩා කරමින් පන්දු  54කදී ලකුණු 106 ක් රැස් කිරීමට සමත්වූයේ, ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ වේගවත්ම ශතකය සිය නම ඉදිරියේ ලියා  තබාගනිමිනි.

පන්දු 49කදී ඒඩ්න් මාර්ක්‍රම්ගේ ශතකය වාර්තා කළේය.

දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50දී කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 428ක්  රැස්කළේ දැවැන්ත අභියොගයක්,ශ්‍රී ලංකාව හමුවේ  තබමිනි

එම ලකුණු සංඛ්‍යාව කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියද, කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පුදුමයට පත්කරමින් පිටිය පුරා රිසිසේ පහර දුන්නේ, ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුම් සහ ප්‍රේක්ෂකයන්ගේ  ප්‍රීතිඝෝෂා හමුවේය.

කුසල් මෙන්ඩිස් පන්දු 42කදී ලකුණු 76ක් රැස් කළේ 04 පහර 04ක් 06යේ පහර 08ක් සමගිනි.

කුසල් මෙන්ඩිස් එල්ල කළ හයේ පහර 08 වාර්තා අතරට එක් වුණේ, ලෝක කුසලාන තරගයක ශ්‍රී ලංකා පිතිකරුවකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.

කුසල්ගේ දැවීයෑමෙන් පසු ශ්‍රී ලංකා පිළට යම් බලාපොරොත්තුවක් එක් කළේ චරිත් අසලංක සහ කලකට පසු ලකුණු අතරට පිවිසි දසුන් ශානකය.

චරිත් අසලංක ලකුණු ලකුණු 75ක් රැස් කළේ 06 පහර 04ක් සහ 04 පහර 08ක් සමගිනි.

නායක දසුන් ශානක පන්දු 62කින් ලකුණු 68ක් ලබාගත්තේය.

කසුන් රාජිතද පන්දු 31කදී ලකුණු 33කි රැස්කළේ දැවැන්ත 06 පහරක් සමගිනි.

කෙසේවෙතත් ලකුණු 429ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 326ක් පමණි.