42.31%
17.27%
32.76%
October 7, 2023

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

මාතර දිස්ත්‍රික්කයට තවදුරටත් බලපෑම් එල්ල වී ඇත.

මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පැවසුවේ, දිස්ත්‍රික්කය තුළ ආරක්ෂිත කඳවුරු 11ක් ස්ථාපිත කර ඇති බවයි.

පවුල් 414 ක පුද්ගලයන් 1376 දෙනකු මෙම කඳවුරු වෙත යොමුකර ඇති බව ඔහු පැවැසීය.

දිස්ත්‍රික්කයේ පවුල් 5,755කට අයත් පුද්ගලයන් 22,012ක් අවතැන්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

විපතට පත්වූවන්ට සහන සැලසීමේ ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරමින් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

මේ අතර නිල්වලා ගඟ ප්‍රධාන ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පවසා ඇත්තේ, ඉදිරි පැය 48 තුළ අධික වර්ෂාපතනය පැවතියහොත් තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවයි.

කඹුරුපිටිය, තිහගොඩ සහ අතුරලිය යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස ඔහු අනතුරු ඇඟවා ඇත.

අත්තනගලු ඔය, ගිං ගඟ සහ කළු ගඟ ද සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.

අද පස්වරුවේ ගිං ගඟ බද්දේගම ප්‍රධාන ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසන්නේ, ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 5,000ක් වන බවයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ සඳහන් කරන්නේ, දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ පුද්ගලයන් 3200කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

කළු ගඟේ සහ මගුරු ගඟේ අතු ජල මට්ටම් ද තවදුරටත් ඉහළ යමින් පවතින බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ද බලපෑම් එල්ල වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් නිශාන්ත පවසන්නේ, වත්තල, කැලණිය සහ ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 39,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

42.31%
17.27%
32.76%