October 7, 2023

පිතිකරණය පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් සහ ආබාධ හේතුවෙන් දුර්වල වූ පන්දු බලඇණියක් සමග ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද දිල්ලි හිදී පැවැත්වෙන්නේ, ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ කෙරෙන දකුණු අප්‍රිකාව සමගය.

සමස්තයක් ලෙස දකුණු අප්‍රිකාවට යම් හෝ කනස්සල්ලක් තිබෙන්නේ පන්දු යැවීම සම්බන්ධයෙන් පමණකි.

අන්රික් නොකියා සහ සිසන්ද මගාලා ආබාධයන්ට ලක්ව තිබීම හේතුවෙන් වේග පන්දුවේ යම් හිඩසකට දකුණු අප්‍රිකාව මුහුණ දෙදෙමින් සිටී.

එමෙන්ම දඟ පන්දු බල ඇණියේ කේෂව් මහරාජ් සහ තබ්‍රේස් ෂම්සි පමණක් සිටින නිසා ශ්‍රී ලංකාවට මෙන් විකල්ප නොමැත.

එහෙත් දකුණු අප්‍රිකානු පිතිකරණ අංශය අතිශයින්ම භයංකාර පෙළගැස්මකි.

ශ්‍රී ලංකාව අංක හය සහ හතේ ස්ථනවල ප්‍රහාරාත්මක ප්‍රබල පිතිකරුවන්, නොඑසේනම් ‘පවර් හිටර්ස්ලා’ නොමැති වීමේ දීර්ඝ කාලීන අර්බුදයක සිටියත්, දකුණු අප්‍රිකාව ඒ අතින් ප්‍රබල ස්ථානයක පසුවෙයි.

එබ බලඇණියේ ඉහළින්ම ක්වින්ටන් ඩි කොක් සිටින අතර, ඒඩ්න් මාක්‍රම්, හෙන්රික් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර්ගෙන්ද මැද පෙළ ශක්තිමත් වෙයි.

මාර්කෝ ජැන්සන් සහ ඇන්ඩිලේ ෆ්ලෙකුහුවායෝ පහළින් සිටිති.

ඔවුන් අතරින් එක්දින තරගවලදී ලකුණු 90ට අඩු ප්‍රහාරාත්මක වේගයක් ඇත්තේ ඇන්ඩිලේට පමණක් වන අතර ඔහුගේ ප්‍රහාරත්මක වේගය 88.04කි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකරුවන් 06 දෙනා අතර ලකුණු 90ට වැඩි ප්‍රහාරාත්මක වේගයක් ඇත්තේ කුසල් පෙරේරාට පමණකි.

ආබාධයකින් අනතුරුව යළි කණ්ඩායම සමග එක්ව සිටින ඔහුට පෙර පරිදි වේගය පවත්වා ගෙන යා හැකිදැයි විශ්වාසයක් තැබියි නොහැකිය.

වේගයෙන් විශාල ලකුණු ලබාගත හැකි සෙසු පිතිකරුවන් අතර කුසල් මෙන්ඩිස් ඉදිරියෙන් සිටියි.

ඔහු වේගවත් ලකුණු 158ක් ලබාගත්තද මැදපෙළ එහි වාසිය ලබා නොගැනීම ඇෆ්ගනිස්තානය සමග පැවති පෙරහුරු තරගයේදීත් කැපී පෙනිණි.

චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකි අතර, පහළින් පැමිණ වේගයෙන් ලකුණු රැස්කළ හැකියාව ඇති එකම පිතිකරුවා වන්නේ දසුන් ශානක පමණකි.

එහෙත් පසුගිය කාලය පුරාම දසුන් දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රි ලංකාවට ප්‍රබල පාඩුවකි.

ශ්‍රී ලංකාවේ වාසනාවකට මෙම තරගය පැවැත්වෙන්නේ මන්දගාමී දිල්ලි නුවර තණතීරුවක නිසා, ඊට උචිත පන්දු යවන්නන්ගේ බල ඇණියක් ශ්‍රී ලංකාව සතුවේ.

අවසන් තරග 15 තුළ 14 වතාවක් ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දවාගන්නට ඔවුන්ට හැකිවිය.

කෙසේ වෙතත් ප්‍රබලතම දඟපන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ නොමැතිව ශ්‍රී ලංකාව අද තරගයට එක්වෙයි.

මෙයින් අදහස් වන්නේ දඟපන්දු යැවීමේ වගකීම දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත සහ ධනංජය මත පැටවෙනු ඇති බවයි.

ඉන්දියාවේ අනෙකුත් ක්‍රීඩාංගණවලට වඩා දිල්ලි තණතීරුව දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත වේ.

එමෙන්ම මෙම තණතීරුව සාම්ප්‍රදායිකව ඉහළ ලකුණු රැස්කරන ක්‍රීඩාංගණයක් ද නොවන අතර, එක්දින තරගවලදී ලකුණු 300 සීමාව ඉක්මවා තිබෙන්නේ අවස්ථා 02කදී පමණකි.

අද දිනයේ උණුසුම් හා තෙතමනයක් සහිත ඉහළ අර්ද්‍රතාවයක් ඇති කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් තරම් ඉහළ අගයක පැවතිය හැකි නිසා පළමුව පන්දුවට පහරදීම වඩා උචිත වනු ඇත.