October 6, 2023

2023 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ ඇති බවත්, මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නැවත හැරවෙමින් ඉලක්කගත උද්ධමන මට්ටම කරා ලඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ යෝජිත විදුලිය ඇතුළු පරිපාලනමය වශයෙන් තීරණය කරන ලද මිල ගණන් සහ ගාස්තු ඉහළ දැමීම මෙන්ම රජය විසින් යම් බදු සම්බන්ධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී ඉලක්කය අභිබවා උද්ධමනය ඉහළ යෑමක් කෙටිකාලීනව සිදු විය හැකි බවයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

උද්ධමනය සැළකිව යුතු ලෙස පහළ යෑම උද්ධමන අපේක්ෂා විශාල ලෙස අඩුවීමට උපකාරී වී ඇත.

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම උද්ධමනය අඩු වීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද ,2021 – 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමන ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස පහළ යමින් සියයට 1.3 ක් දක්වා අඩු විය.

2023 සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව තෙවැනි මාසයටත් ආහාර කාණ්ඩයේ අවධමනයක් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වාර්තා වූ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ පැසෙහි බොහෝ කාණ්ඩවල මිල පීඩන ලිහිල් වීම හේතුවෙන් ආහාර නොවන උද්ධමනය ද පහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන පිළිබිඹු කරන කො.පා.මි.ද , මත පදනම් වූ මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) නිරුද්ධමන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී තවදුරටත් අඩු විය කෙසේ වෙතත්, හිතකර සංඛ්‍යානමය පදනමේ බලපෑම නොමැති වීමත් සමඟ මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නැවත හැරවෙමින් ඉලක්කගත උද්ධමන මට්ටම කරා ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේ වුවද, යෝජිත විදුලිය ඇතුළු පරිපාලනමය වශයෙන් තීරණය කරන ලද මිල ගණන් සහ ගාස්තු ඉහළ දැමීම මෙන්ම රජය විසින් යම් බදු සම්බන්ධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී ඉලක්කය අභිබවා උද්ධමනය ඉහළ යාමක් කෙටිකාලීනව සිදු විය හැකිය. මහ බැංකුවේ නවනම් පුරෝකථන මගින් පිළිබිඹු වන පරිදි මතුපිට උද්ධමනය මැදි කාලීනව සියයට 5ක ඉලක්කකගත අනුපාතයෙහි ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.